එළඹෙන අභිමානවත් මාසය සමරන්නන්ට අනතුරු ඇඟවීම්.
අමෙරිකානු FBI ආයතනය විසින් අනතුරු අඟවමින් කියා සිටිනුයේ ජූනි මාසයේ යෙදී ඇති සමරිසි ප්‍රජාවගේ සැමරුම් ඉලක්ක කරගනිමින් විදේශීය ත්‍රස්ත සංවිධාන ප්‍රහාර එල්ල කළ හැකි බවයි.
මෙහි විශේෂත්වය වන්නේ අමෙරිකාව තුළ මෙන්ම විදෙස්ගත අමෙරිකානු පුරවැසියන්ට ද මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබීමය.
විදේශීය ත්‍රස්තවාදී සංවිධාන හෝ ආධාරකරුවන් එළඹෙන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත අභිමානවත් මාසය හා සම්බන්ධ වැඩසටහන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පවසා සිටී.
ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම්වල නිශ්චිත රැස්වීම් හෝ ස්ථාන සඳහන් කර නොමැති බව වාර්තා වන අතර 2023 පෙබරවාරි මාසයේදී නිකුත් කළ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමේ පණිවිඩවල සමලිංගික ප්‍රජාවට එරෙහිව ප්‍රකාශ ඇතුළත් වීම හේතුවෙන් මෙසේ අනතුරු අඟවා ඇති බවද සඳහන්වේ.
කෙසේ වෙතත් 2016 මෙවැනිම මාසයක ෆ්ලොරිඩාහිදී සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක IS මතවාදී පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තවත් 53 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව අමෙරිකාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අභිමානවත් මාසයේ සැමරුම් ඇතුළු සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල විමසිල්ලෙන් සිටින ලෙසයි.