භූ චලන ගැන සොයන්න හදිසියේම පිරිසක් පිටත්ව යයි - දිගින් දිගට සිදුවන භූ චලන ගැන හෙළිදරව්වක්..!

Earthquake
By Sewvandhi Feb 11, 2023 08:50 AM GMT
Report

 අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වැල්ලවාය නගරය ආසන්නයේ වාර්තාවී තිබුණි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ, මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බවය.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දහවල් භූ චලන දෙකක් ඇතිවිය. ඒ, රික්ටර් මාපාංක 3 ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසිනි. කෙසේ වෙතත් ප්‍ර‍දේශවාසීන් පැවසුවේ අද සිදුවූ භූ චලනයේ බලපෑම තමන්ට නොදැණුනු බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ තරංග මුණසිංහ මහතා සඳහන් කළේ,

"මෙම කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වනවිටත් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනවා."

මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

"ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල භූ කම්පනයක් වාර්තා වෙන්නේ නැහැ. බුත්තල වැල්ලවාය ප්‍රදේශවලට දැනිලා තියෙන්නේ මේ කලාපයේ සිදුවූ භූ කම්පනවලින් එකක්. බොහෝවිට කාල්ස්බර්ග් මවුන්ට් කියන මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු භූ කම්පනයක් තමයි අපිට දැනෙන්න ඇත්තේ."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now