බස් රථවල යන මඟීන් මේ ගැන දැඩ් අවධානයෙන්..ඔබටත් මෙවැනි පිහි ප්‍රහාරයන් සිදුවිය හැකියි..

Sri Lanka Accident
By Aruna Mar 09, 2023 12:30 AM GMT
Report

පෞද්ගලික බස්රථයක කොන්දොස්තරවරයාට ගැට කපන්නෙකු එල්ල කළ පිහි පහර බස්රථයේ ගමන් ගත් තරුණයෙකුට වැදි බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට මගීන් විසින් පහරදී, පිහියත් සමග පොලිසියට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනෙක් කොටගෙදර මාළු බෝක්කුව ආසන්නයේදී මගීයෙකුගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇති අතර ඒ සමගම කොන්දොස්තරවරයා ගේ සහායට තවත් තරුණයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙහිදී බස්රථයේ කොන්දොස්තර, රියැදුරු සහ තරුණයන් දෙදෙනා ගැට කපන්නන් දෙදෙනා සමග බහින් බස් වීමක් සිදුවී ඇති අතර එහිදී එක් ගැට කපන්නකු සඟවාගෙන සිටි උල් පිහියකින් කොන්දොස්තරවරයාට පහර දීමත් සමගම ඒ ආසන්නයේ සිටි තරුණයාගේ උදර ප්‍රදේශයට වැදී ඇතැයි පොලිසිය පවසයි.

ඒ සමඟම කුපිත වූ මගීන් ගැට කපන්නන් දෙදෙනාට පහර දී ඇති අතර එක් ගැට කපන්නෙක් මගීන්ගේ පහරදීම මධ්‍යයේ පලාගොස් ඇති අතර පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව මගීන් විසින් අල්ලා පොලිසියට බාරදී තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු මඩපාත බෙරවාවල පදිංචිකරුවෙකි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.