කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක්..! ඔබත් මේ ගැන දැනුවත්වන්න..

Cancer Male Breast Cancer Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Nov 03, 2023 01:43 PM GMT
Report

පියයුරු පිළිකා වළක්වා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම සහ මර්දනය කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමක් මෙහි දී සිදු කර ඇත.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාඩ් ජෝෂප්, 

"ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ බහුලව දකින පිළිකාව තමයි පියයුරු පිළිකාව. වසරකට කාන්තාවන් හාරදාහක් පමණ පියයුරු පිළිකා රෝගීන් හැටියට හඳුනා ගැනෙනවා. පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනා ගතහොත් වෙනත් අවයවවලට පැතිරීමට පෙර හඳුනා ගතහොත් නිට්ටාවට සුව කිරීමේ හැකියාව තියෙනවා. පිළිකා රෝගී විශේෂඥ වෛද්‍යවරයෙක් හරි හමු වෙලා අදාළ පරීක්ෂණ සිදු කර ගන්න ඖෂධ ප්‍රතිකාර හා විකිරණ ප්‍රතිකාර අපි ලබා දෙනවා.

මේ සියලු ප්‍රතිකාර සෑම දිස්ත්‍රික්කයකම තියෙන රජය රෝහල්වල තිබෙනවා. පියයුරු පිළිකාව කලින් හඳුනා ගෙන සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. දැනට තියන දත්ත අනුව පියයුරු පිළිකාවට බහුල ප්‍රදේශ, විශේෂ ප්‍රදේශ හඳුනාගෙන නෑ. පියයුරු පිළිකාවට විශේෂ අවදානම් රැකියා කියලත් නෑ. පියයුරු පිළිකා වැඩි වීම රෝහල් පද්ධතිය වැඩිපුර මේ පිළිකා හඳුනා ගැනීම නිසා සිදු වන දෙයක් ද නැත්නම් පිළිකා ඉහළ ගිහිල්ලා ද කියලා අපිට හොයාගන්න බෑ. ජීවන රටාව අනුව වැඩිවීමක් තියෙනවද කියලත් පැහැදිලි නෑ. පියයුරු පිළිකාවට විශේෂිත හේතුවක් නැහැ. ඒ නිසා කලින් හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ''

''පියයුරුවල ගැටිති හමේ ඇතිවන වෙනස්කම් තනපුඩුවලින් එන ශ්‍රාවයන් වැනි ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න. එහෙම ලක්ෂණ නොතිබුණත් සුවනාරි සායනයට ගොස් එම පරික්ෂා කරගන්න පුළුවන්. මව්කිරි දෙන අයට පියයුරු පිළිකා සෑදීමේ සම්භාවිතාව අඩුයි. පියයුරු පිළිකා පිරිමින්ටත් හැදෙන්න පුළුවන් ඉතාම දුර්ලභයි පිරිමින්ගේ. කාන්තාවට ඇතිවෙනවා වගේ සියට එකක් දෙකක් වගේ තමයි පිරිමින්ට ඇති වෙන්නේ.

පියයුරු පිළිකාව මුලින් හඳුනාගත්තොත් පැතිරීමක් වෙලා නැත්නම් එය නිට්ටාවට සුව කරගන්න පුළුවන්. මුල් අවස්ථාවේ හඳුනා ගත්ත රෝගීන්ගෙන් සියයට අසූවක් අනූවක්ම පිළිකාව හොඳ කරගෙන තිබෙනවා. පියයුරු පිළිකාවලට අවශ්‍ය ඖෂධ ටික රජයේ රෝහල්වල තිබෙනවා. සමස්තයක් හැටියට පියයුරු පිලිකාවට ඖෂධ හිඟය දැඩි බලපෑමක් ඇති කළේ නැහැ. සමස්තයක් හැටියට පියයුරු පිළිකාවට ඕන කරන සියලු ඖෂධ අපි ළඟ තිබෙනවා''