රෝහලක වකුගඩු සැත්කම් නතර කරන ලෙස නිර්දේශ..!

Sri Lanka
By Sewvandhi May 04, 2023 09:29 AM GMT
Report

නීතිපතිවරයා අභියාචනාධිකරණයට, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අවසන් වනතුරු බොරැල්ල, වෙස්ටර්න් රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබාදී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව දැනුම් දී තිබේ.

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදුකෙරුණු බවට වාර්තා වූ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා සිදුකළ අනාවරණයත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දැනුම්දෙනු ලැබීය.

එම ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල, වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (04) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මේ බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අදාළ රෝහලට වකුගඩු බද්ධ කිරිම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කළ බවය.

මෙම සිද්ධීන් වලට අදාල විමර්ශන කටයුතු අවසන් වන තුරු අදාළ රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස එම කමිටුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

කෙසේ වෙතත් අවයව බද්ධ කිරීම සඳහා අදාළ රෝහලට ලබාදී තිබූ අනුමැතිය ඉකුත් දෙසැම්බර් මස 31වනදා අවසන් වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පණවා තිබෙන අවයව බද්ධ කිරීමේ සැත්කම් තහනම නිසා තම සේවාදායකයන්ට රෝහල් සේවකයින්ට වැටුප් ගෙවීම පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය. 

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නියෝජිතයෙකුගේ අධික්ෂණය යටතේ අදාළ අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වනදා පැවැත්වීමට ද දින නියම කළේය.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද වරින් වර සිදු වුණි.  



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now