පරිපූරක වෛද්‍ය සේවා පාඨමාලා 08කට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් නව පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තීය ක්ෂේත්‍ර 08ක් සඳහා පුහුණු පාඨමාලා හැදෑරීමට සිසුන් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.
දන්ත කාර්මික ශිල්පී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෘජුකරණඥ හා අංගාදේශක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, විද්‍යුත් හෘද රේඛණ ශිල්පී, ඖෂධ සංයෝජක සහ විද්‍යුත් මොළ රේඛණ ශිල්පී යන ක්ෂේත්‍ර සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා තිබේ.
2026 අගෝස්තු 07 වැනිදා නිකුත් කළ අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, 2019 සිට 2023 දක්වා වර්ෂවලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වැනිදා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෘජුකරණඥ හා අංගාදේශක පාඨමාලාවේ පුහුණු කාලය වසර 03ක් වන අතර, ඖෂධ සංයෝජක පාඨමාලාව වසරක කාලයකින් සමන්විත වේ. අනෙකුත් පාඨමාලා සඳහා පුහුණු කාලය වසර 02කි.
පරිපූරක වෛද්‍ය සේවාවේ මානව සම්පත ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.
එමඟින් රෝගීන් වෙත ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.