දරුවෙකු ඇතුළු 4කට දිවි අහිමි කළ මාරක රිය අනතුරු ..

Sri Lanka Police Sri Lanka Accident
By Sewvandhi Mar 12, 2023 08:02 AM GMT
Report

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එනම්, පොලීසිය පැවසුවේ, දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක අධික බෑවුම් සහිත ස්ථානයකදී පාපැදියකින් ගමන් කළ ළමයෙකු පාපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් කොට්ටගොඩ ගොඩඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි කුඩා පිරිමි ළමයෙකු මියගොස් තිබේ.

එමෙන්ම අම්බලන්ගොඩ රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් 21 හැවිරිදි සහ 25 හැවිරිදි අම්බලන්ගොඩ රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මේ අතර හික්කඩුව කුරුඳුවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු දුම්රියේ ගැටී සිදුවු අනතුරකින් එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් 45 හැවිරිදි හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මියගොස් තිබේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now