පාලමක් අසල බිම නිදිකරවා ඔළුවට වෙඩි තියල..තරුණයෙක් ජීවිතක්ෂයට..
නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව වාර්තා වනවා.
පොලීසිය පවසන්නේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි කාලයේ හිසට වෙඩි තබා ඇති බවයි.
පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කර සිටියා.
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙක්, මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත.
මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රි කාලයේදී ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණා.
අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.