ලස්සන වෙන්න, තරුණ වෙන්න ක්‍රීම් පාවිච්චි කරන අයට අනතුරු ඇඟවීමක්..ඔබත් පාවිච්චි කලාද?..

Sri Lanka Police Beauty
By Aruna Feb 22, 2024 02:17 AM GMT
Report

පාවිච්චියට නුසුදුසු පිළිකා කාරක අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ ආනයනය කර රට පුරා බෙදා හරින පිටකොටුවේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථාන හතරක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (21) වැටලීමට ලක් කරනු ලැබුවා.

එහිදී ව්‍යාපාරිකයන් සිව්දෙනකු රුපියල් දශ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ක්‍රීම් වර්ග සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, මෙහිදී සොයා ගත් පිළිකාකාරක අඩංගු ක්‍රීම් වර්ග කාන්තාවන්ගේ සම පැහැපත් කිරීමට යැයි කියමින් අලෙවි කර ඇති බවයි.

මෙසේ අලෙවි කර ඇති ක්‍රීම් වර්ග නිසි ප්‍රමිතියකින් තොර ඒවා වන අතර ඒවා ආනයනය කිරීමේදී අවශ්‍ය අවසරයන් පවා ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීම හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහනම් කර ඇති ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ ද සොයාගෙන ඇත.

කෙසේ වෙතත් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මෙම ව්‍යාපාරිකයන් සිව්දෙනා දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් මෙම ක්‍රීම් වර්ග ආනයනය කර රට පුරා බෙදා හැර ඇති බව‍යි.