උසස් පෙළ විභාගය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Dec 20, 2023 06:18 AM GMT
Report

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ උපකාරක පංති හෙවත් ටියුෂන් පංති පැවැත්වීම සම්බන්ධයෙන්.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ, උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්වන බවයි.

මෙවර විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම්කර තිබෙන්නේ.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි, විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ අමිත් ජයසුන්දර මහතා, "ඔබ ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද? විෂයන් නිවැරදිද? මාධ්‍ය නිවැරදිද?

උපන්දිනය සියලු තොරතුරු නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න.

අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි දීර්ඝ කළා.

https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකිය. අපි අවස්ථාව දෙනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගන්න.

එය රැගෙන ඔබ විභාග ශාලාවට යන්නේ." මේ අනුව, සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල කලා උපාධි ධාරාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට තීරණය කර ඇති බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා පවසනවා.

ප්‍රේමකුමාර ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ශාස්‍ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී මෙම තීරණයට එළඹි බවයි.