අත්අඩංගුවට ගත් දෙදරු පියා ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 11, 2023 04:54 PM GMT
Report

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමට උත්සාහ කිරීමේදී ඇති වූ පොරබැදීමකින් පසු මියගොස් ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙක් වන සැකකරු පොඩි ලැසීගේ සමීපතමයෙකු බවට සැකකෙරෙන බවයි.

ඊයේ (10) දහවල් හෙරොයින් ජාවාරම්කරුවකු පිළිබඳව ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ එම සේවකයාව අත්අඩංගුවට ගත්තේය.

ඒ වෘත්තීය පුහුණු අධිකාරිය අසලදීය. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් පමණ සොයාගෙන තිබූ අතර එම මත්ද්‍රව්‍ය මරදාන ප්‍රදේශයේ අයෙකුගෙන් ලබා ගත්තේ යැයි සැකකරු ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.

පසුව සැකකරු මරදාන ප්‍රදේශයට රැගෙන එන අතරතුර නෙලුම් කුළුණ අසලදී, තමන්ට ජලය බීමට අවශ්‍ය යැයි පැවසූ බව පොලීසිය සඳහන් කළේය. එහිදී සැකකරුට ජලය ලබාදුන් වීදුරු බෝතලය කඩා මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරියෙකුට ඉන් පහරදී ඇති බව ද පොලිසිය පැවසීය.

එහිදී පොලිස් නිලධාරීන් හා සැකකරු අතර ඇති වූ පොරබැදීමේදී ඔහු සිහිසුන්ව ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා හා සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. සැකකරු එම අවස්ථාවේදී මියගිය බව පොලීසිය පැවසුවේය.

මරණකරු 42 හැවිරිදි සමන්ත ප්‍රීතිකුමාර නම් දෙදරු පියෙකි. ඔහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොඩි ලැසීගේ සමීපතමයෙකු බවත් පොලීසිය ප්‍රකාශ කළේය. එමෙන්ම සමන්ත වසර 15ක පමණ සිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ සේවය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සැකකරුගේ මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදුකෙරුණි. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now