අවුරුදු 15 ක දැරියක් දරුවෙකු බිහිකරයි..වෛද්‍යවරයෙක්ට චෝදනා..

Police spokesman Galle Ministry of Health Sri Lanka National Health Service
By Aruna Aug 29, 2023 06:40 AM GMT
Report

බාලවයස්කාර දැරියෙකුට දරුවෙකු ලැබීමේ සිදුවීමක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදි එය සැඟවීමට කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

එම දැරිය ගැබ්ගෙන ඇත්තේ අවුරුදු 14 දී වන අතර ඇය විසින් බිහිකළ දරුවා අඩු බර දරුවෙකු වන බැවින් කිසියම් සංකූලතාවයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ ළමා ඒකකයට යොමුකර ඇත්තේ පෙර සඳහන් කළ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා විසින් බවයි පැවසෙන්නේ.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා සහ මව පිළිබඳ ඇති වු සැකය මත රෝහල් කාර්ය මණ්ඩලය විසින් මව පිළිබඳව රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් තිබේ.

මව පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම්දිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී අදාළ වෛද්‍යවරයා පැමිණ, එවැනි දැනුම්දීමක් ළමා ආරක්ෂණ අධිකාරියට සිදුකළ යුතු නොවන බව පවසා තර්ජනය කර තිබෙන බවද වාර්තාවේ.

පසුව බාලවයස්කාර දැරිය තමන්ගේ රෝගියෙකු බවත් පවසා අදාළ විශේෂඥ වෛද්‍යවරයා මව සහ බිළිඳා වාටුවෙන් බලහත්කාරයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

එවැනි තීරණයක් ගැනීමට එම වෛද්‍යවරයාට නීතිමය අයිතියක් නොමැති බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.