ලංකාවේ උපන් කැනේඩියානු පොලිස් ප්‍රධානියෙක් මෙරටට. - (PHOTOS)
කැනඩාවේ පීල් ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාවන නිශාන් දොරේඅප්පා පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී මෙරට ප්‍රජා පොලිස් කමිටු තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය ලබා දීමට ඔහු කැමැත්ත පළකර ඇති අතර කොළඹ පොලිස් මුලස්ථානයේදී මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මුණ ගැසී විශේෂ සාකච්ඡාවකට එක් වුණා.
1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාගේ ඥාති පුත්‍රයෙකු වන, 1973 වසරේ ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.
ඔහුගේ වෘත්තීය ජීවිතය 1995 දෙසැම්බර් මාසයේදී කැනඩාවේ හැල්ටන් පොලිසිය සමඟ ආරම්භ වූ අතර එහිදී ඔහු පෙරටුගාමී පොලිස් සේවය, විශේෂිත විමර්ශන සහ විවිධත්වය සහ ප්‍රජා සම්බන්ධතා ඇතුළු විවිධ තනතුරුවල සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
2015 වසරේ හැල්ටන් පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස උසස් කරන ලද දොරේඅප්පා 2019 ඔක්තෝම්බර් මාසයේ සිට පීල් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උපත ලබා, මේ වන විට කැනඩාවේ පීල් කලාපයේ පොලිස් සේවයේ ප්‍රධානියා වශයෙන් නිශාන් මහතා කටයුතු කිරීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් වන බවයි අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී ප්‍රකාශ කර සිටියේ.