ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා පුද්ගල මරණ 07ක්..
ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මරණවලට හේතු වන්නේ; ඝාතන, අබිරහස් ව මියයාම, හදිසි අනතුරු සහ රිය අනතුරු බවයි.
ඒ අනුව බදුල්ල පොලිස් වසමේ වේවැස්සවත්ත - දෙබැද්ද ප්‍රදේශයේ දී තුවාල සහිතව මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වේවැස්සවත්ත ප්‍රදේශයේ ම පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 60ක් වන කාන්තාවක්. මරණකාරිය පෙරේදා (23) දින සවස් කාලයේ දී රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බවත්, යළි ඇය නිවසට නො පැමිණි බවටත් ඒ හේතුවෙන් නිවැසියන් විසින් ඇය පිළිබඳ සිදු කරන ලද සොයා බැලීමේ ඊයේ (24) දින නිවස ආසන්නයේ පිහිටි තේ වත්තක තිබී ඇයගේ මෘත ශරීරය සොයාගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
පොලීසිය සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වූ කරුණු අනුව ඇයගේ මෘත ශරීයේ තැනින් තැන තිබූ කැපුම් තුවාල සහ ඇයගේ පාවහන් යුගලට අමතරව තවත් පාවහන් යුගලක් ඇය මියගිය ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පොලීසිය සැක කරන්නේ, මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් වන බවටයි. මෘත ශරීරය සිදු වූ ස්ථානයේ පොලිස් රැකවල් යොදා ඇති අතර, මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) සිදු කිරීමට නියමිතයි. එමෙන්ම, හබරණ - 126 කණුව - සිංහගම ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ ඊයේ (24) හබරණ පොලීසියට ලද තොරතුරක් මතයි. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති අතර, මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයාගේ උඩුකය නිරුවත්ව ඇති අතර, සරමක් ඇඳ සිටි බවට ද පොලීසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ මරණකරු අසල තිබී, කළු පැහැති සෙරෙප්පු කූට්ටමක්, වතුර බෝතලයක්, වස බෝතලයක්, මුදලින් රුපියල් 5020ක්, නැෂනල් ඇඳුම් කට්ටල 02ක්, කහ පැහැති කමීසයක් සහ වියළි ගිය බිස්කට් 04ක් ද සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන මහේස්ත්‍රාත් සහ මරණ පරීක්ෂණ අද (25) දින හබරණ පොලීසිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර, ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විවිධ හේතු මත තවත් මරණ වාර්තා වුණා.
ඒඅනුව චාවකච්චේරිය - සංගස්ථානය හින්දු විද්‍යාලය අසල ඇති දුම් රිය මාර්ගයේ දී දුම් රියෙහි ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (24) සවස් කාලයේ දී සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, වයස අවුරුදු 18ක් වන තරුණයෙක් වන අතර, ඔහු කොඩ්කාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියටයි අදාළ තරුණයා ගැටී ඇත්තේ. මරණකරුගේ මෘත ශරීරය චාවකච්චේරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර , අද (25) දින මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. මේ අතර ඊයේ (24) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ කොට්ටාව - අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ දී යි. අතුරුගිරිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටී අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු යි. එමෙන්ම, ඊයේ (24) පස්වරුවේ සිදු වූ තවත් රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම රිය අනතුර සිදුව ඇත්තේ ගාලදිවුල්වැව පොලිස් වසමේ ගෙවල් 05 ප්‍රදේශයේ දී යි. ජයගහ දෙස සිට හැලබෑව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, දෙදෙනකු නොච්චියාගම රෝහලටත්, සෙසු දෙදෙනා අනුරාධපුර රෝහලටත් ඇතුළත් කෙරුණා. එහෙත් නොච්චියාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 සහ 39 යන වයසෙහි පදිංචි පුද්ගලයින් වන අතර, ඔවුන් තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කරනවා
. මේ අතර, තවත් පුද්ගල මරණයක් පිහිඹියගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් පත්තු වීමෙන් බවයි වාර්තා වන්නේ. පිහිඹියගොල්ලෑව - ඉහළගම, කැඳෑව ප්‍රදේශයේ දී සිදුව ඇති මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 37 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.
මරණකරු විසින් අදාළ ගිනි අවිය නිපදවා ඇති බවත්, ඔහු අතින් ම එය පත්තු වී හිසට බරපතළ තුවාල වී ඇති බවත්, මරණයට හේතුව එය බවත් පොලීසිය පවසනවා. ඊයේ (24) පෙරවරුවේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් පිහිඹියගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |