වහාම ක්‍රියාත්මක වන පරිදි වර්ග 60ක උපරිම සිල්ලර මිල අද සිට අඩු කරයි..
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සියයට 16කින් අඩු කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල සියයට 16 කින් අඩු කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සතියේ අනුමැතිය ලබා දුන්නා.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ ස්ථාපිත ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ මිල පැනවීමට අදාළ සියලු කටයුතු නියාමනය කිරීමේ වගකීම දරනවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල අඩු කිරීමට තීරණය කළ බවයි.
අදාළ බලධාරීන් සමඟ කළ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මිල පාලනයක් මගින් නියාමනය කරනු ලබන NMRA ඖෂධවල මිල අඩු කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම මිල සංශෝධනය මාස තුනක් සඳහා අදාළ වනවා.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් පසුගිය වසරේ සිට අවස්ථා කිහිපයකදී ඖෂධවල උපරිම සිල්ලර මිල සියයට 97 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැමැත්ත ලබාදී තිබුණා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ, රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති ආර්ථික ස්ථායීකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත්, එහි ප්‍රතිලාභය සියලුම පුරවැසියන් විසින් භුක්ති විඳිය යුතු බවත්.