කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ගැන එළියට ආ නවතම හෙළිදරව්ව..

By Sewvandhi Mar 09, 2024 09:14 AM GMT
Report

නවතම සමීක්ෂණයකින් පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණ වී තිබේ.

සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි, එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ. එය මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇති අතර බොහෝ විට සිදුවූයේ ජනතාව තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමය.

 ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි, පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර ඇත්තේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බවයි.

මේ අතර සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවයි, Public Finance.lk වෙබ් අඩවිය පවසන්නේ.

බොහෝ භාණ්ඩ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලට යටත් වුවත් සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බව එම වෙඩි අඩවිය පෙන්වා දෙයි. ඒ අනුව සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47.1%කි.