"විධායක බලය ජනපති සතුයි..එය කප්පාදු කිරීමට ව්‍යවස්ථාවට බෑ" 22 ගැන අධිකරණයේදී හෙළිවූ දේ
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකෙරුණු පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණි. එහිදී කරුණු දැක්වූ ඇතැම් නීතීඥවරු සඳහන් කළේ විවිධ න්‍යායපත්‍ර පදනම් කරගත් පිරිස් සතුටු කිරීම සඳහා මෙම කෙටුම්පතට ඇතැම් වගන්ති ඇතුළත් කර ඇතැයි පෙනී යන බවය.
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ගණන 09කි. පෙත්සම් විභාගය අද ඇරඹුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේය. මෙහිදී රජය වෙනුවෙන් නීතිපති සංජේ රාජරත්නම් මහතා පෙනී සිටී.
එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල් අනිල් සුමේධ අමරසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ පළමුව කරුණු දැක්වීය.
"විධායක බලතල ජනාධිපතිවරයා සතුයි. එය කප්පාදු කිරීමට හෝ ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හැකියාවක් නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බව තහවුරු කර තිබෙනවා. ජනපතිගේ විධායක බලතල සීමා කල හැකියි. එහෙත් එය ජනාධිපතිවරයා ගන්නා අවසන් තීරණවලට බලපෑමක් වෙන්න බැහැ." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
සාමාජික විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැනයක් නගමින් ඇසුවේ මෙම කෙටුම්පත මගින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන්නේ ජනපති සතු විධායක බලය නොවේද යන්නයි. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ජනපතිගේ විධායක බලය නියෝජනය විය හැකි වුවත් ඒ හරහා ජනාධිපති සතු බලය සීමා වන බවය. තීරණ ගැනීමේ අවසන් බලය ජනාධිපතිවරයා සතු විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජාතිකත්වය පදනම් කරගෙන සාමාජිකයන් පත් කිරීමේ යෝජනාවට තරයේ විරුද්ධ බවත් ඔහු සඳහන් කළේය.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් විවිධ න්‍යාය පත්‍ර පදනම් කරගත් පිරිස් සතුටු කිරීම සඳහා මෙවැනි ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා විය හැකි බවත් මනෝහර ද සිල්වා මහතා සඳහන් කළේය. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම ප්‍රතිපාදනය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදෙන ලෙසය.
මෙම කෙටුම්පත තුළ ජනාධිපතිවරයාට යම් අමාත්‍ය ධුර දැරිය හැකි උපරිම කාලය දින 14 කට සීමා කිරීමෙන් ජනපති සතු විධායක බලතල සීමා වන බවත් ඔහු පැවසීය. මෙහිදී අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ජනාධිපති සතු වන බැවින් සහ යම් ඇමතිධුරයක් පුරප්පාඩු වූ විට එම ධුරය දින 14 ක් ස්වයංක්‍රියවම ජනාධිපතිවරයා වෙත පැවරෙන බැවින් නව අමාත්‍යවරයෙකු පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පැවරෙන බවය. එසේ නම් ජනාධිපතිවරයාගේ බලය කප්පාදු වන්නේ කෙසේදැයි අග විනිසුරුවරයා ප්‍රශ්න කළේය.
තවත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ තමා විසින් පත් කරනු ලබන අග්‍රාමාත්‍යවරයෙකු ඉවත් කිරීමේ බලය ද මෙම කෙටුම්පත හරහා ජනාධිපතිවරයා වෙතින් ඉවත් කිරීමෙන් ජනපති සතු විධායක බලය කප්පාදු වී ඇති බවය. ඉන් පසුව කරුණු දැක්වූයේ එච්.එස්.කුමාර නමැති පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී.කේ.චොක්සි මහතාය. ඔහු සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පතින් විධායක අග්‍රාමාත්‍යවරයෙකු නිර්මාණය වන අතර එය සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණුවලට පටහැනි බවය. වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |