බෙංගාල බොක්ක කැළඹෙයි - ‘අර්නාබි’ සුළි කුණාටුව තවත් ප්‍රබල වෙයිද?

Sri Lanka Cyclone Latest Headlines Sinhala news Disaster
By R.rishma Oct 26, 2026 07:00 AM GMT
Report

බෙංගාල බොක්කේ නැගෙනහිර - මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘අර්නාබි’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.  

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රී 11.30 වන විට බටහිර - මධ්‍යම බෙංගාල බොක්කේදී මෙම පද්ධතිය තවදුරටත් තීව්‍ර වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සුළඟ පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යා හැකියි

මේ අතර, අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. තවද, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.  

ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි උපදෙස්

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසද බලධාරීන් දැනුම් දෙනවා.