දිවයිනේ ප්‍රධාන ගංගාවල මේ වනවිට තත්ත්වය ගැන දැනුම්දීමක්..

Sri Lanka Climate Change Weather
By Sewvandhi May 05, 2023 12:16 PM GMT
Report

 දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පවසනවා.

නමුත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවලදී තරමක් ඉහළ මට්ටමක පවතී.

කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නමුත් ඉදිරි වැසි සහිත තත්ත්වය නිසා ජල මට්ටම් ඉහළ ගොස් ඇති ගංඟා පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරනය කළේය.

අධික වර්ෂාවක් ඇතිවුවහොත් සමහර ගංඟා ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාව නොසලකාහැරිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය. ඒ හේතුවෙන් ප්‍රධාන ගංඟා ආශ්‍රිත අතු ගංඟා දෙපස සිටින ජනතාවද ගංඟා හරහා ගමන් කරන පිරිස ද විමසිල්ලෙන් පසුවිය යුතුය.

ප්‍රධාන වාරිමාර්ග ජලාශවල මේ වනවිට 67%ක ජල ධාරිතාවයක් පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන්ඔය ජලාශය මේ වනවිට වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now