නඩුවක් දවසට විමල්ට හැමදාම ලෙඩක්. - දවස් 7ක නිවාඩුවක් සමඟ ලැබුණු වෛද්‍ය වාර්තාව මෙන්න.

Wimal Weerawansa Supreme Court of Sri Lanka Law and Order
By Wayomi Mar 01, 2024 08:20 AM GMT
Report

හිටපු අමාත්‍ය විමල් විරවංශ මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ, ඔහුට අදාල නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට හිටපු අමාත්‍ය විමල් විරවංශ චෝදනා එල්ලවී ඇත.

එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටි නොමැති අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරු රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය.

අදාල වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි, විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවී කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ, හේතුවෙන් විත්තිකරු අප්‍රමාදව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීම සඳහා දින නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.

එහිදී විනිසුරුවරයා ද විත්තියේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ විත්තිකරු වරින් වර අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ හේතුවෙන් නඩුව නැවත මාර්තු මස 22 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුනා.