ලංකාවේ ජනප්‍රිය නගර වලට අතීතයේ නම් හැදුණු හැටි..

Sri Lanka
By Subodha Jul 02, 2022 05:53 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ගමකට නමක් පටබැඳෙන්නේ එහි භූගෝලීය පිහිටීම හෝ එවකට ජන කොට්ඨාශ වල විසූ විවිධ චරිත අතර ඇතිවූ සිදුවීම් මුල් කර ගෙනය. මෙවැනි ජනප්‍රවාද වල ඉතිහාසමය වටිනාකමක් ඇති අතර තවත් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජන වහරේ පැවත එන කතන්දර වෙයි. සමහර නාම ජන කට වහරෙන් පැමිණිම සමග නම් සන්ධි විසන්ධි වි විවිධාකාර නම් බිහිවි ඇත.

එලෙස සෑදි ඇති නම් කිහිපයක් නම්  

1. කුරුණෑගල

පාළි භාෂාවෙන් හස්තිශෛලපුර ලෙස හැඳින්වෙන ඇතුගල්පුරය හෙවත් කුරුණෑගල වඩාත්ම ප්‍රසිද්ධ නගරය මධ්‍යයේ ඇති විශාල ගල් පර්වතය නිසාය. “කුරුණෑ” යනු ඇතා ය. කඳු ගැටයක ගලක් ඇතකු මෙන් පෙනුණු නිසා කුරුණෑ ගල නම ව්‍යවහාරයට එක්විය. නමුත් සමහර වියතුන්ට අනුව ඇතාගල යනු කුරු මිනිසුන් ට නෑකම් ඇති පර්වතයක් විය හැකියි. මෙහි කුරු යනුවෙන් මිටි වාසීන් ද එහෙමත් නැත්නම් ඉන්දියාව සිටි පැමිණි කෞරව ගෝත්‍රයද යන්න අපට හරිහැටි කිව නොහැක.

2. නුගේගොඩ

කෝට්ටේ කිට්ටුව පිහිටලා තියෙන නුගේගොඩ ඒ කාලේ වගුරු බිමක්. දැනටත් දියවන්නාව, නුගේගොඩ ආශ්‍රිතව තැනින් තැන පිහිටලා තියෙන වගුරු බිම්, මේ කතාවට සාක්කි සපයන හොඳම උදාහරණයක්. ඒ කාලේ මේ පැත්තේ තිබුණු දිය පාරක් අද්දර තමයි අර කලින් කියපු විසාල නුග ගහ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ දිය පාර තරණය කරන්න මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නෙත් මේ නුග ගහේ පහළට එල්ලිලා වැටෙන නුග මුල් . නුග ගහෙන් එගොඩ වෙලා යන්න පුරුදු වුණු මිනිසුන් නිසා, කාලයක් යද්දී මේක “නුගෙන් එගොඩ” බවට පත්වෙලා තියෙනවා. නුගෙන් එගොඩ, පස්සේ කාලෙකදී “නුගේගොඩ” බවට පෙරළුණු බව තමයි කියැවෙන්නේ.

3. ගාල්ල

ගාල්ල නගරය අද ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක පුරවරයන් අතුරින් එකක්. අතීතයේදී පවා වෙළඳ, සංචාරක අංශවලින් ගාල්ලට තිබුණු ජනප්‍රියතාවය, ඉබන් බතූතා, වස්කෝ ද ගාමා වගේ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් පෙන්නුම් කරනවා. ඉස්සර කාලේ වෙලදාම් වැඩවලට වැඩිපුරම පාවිච්චි වුණේ ගොන් කරත්තනේ. ඒ වගේ කරත්ත ගාල් කරලා තියපු ප්‍රදේශය “ගාල” වූ බවටත්, පසු කාලීනව “ගාල්ල” බවටත් පෙරළුණු බවට මතයක් ජනප්‍රවාදයේ තියෙනවා.

4. මාතර

මාතර නගරයට නම හැදුණු විදි කිහිපයක්ම ගැන ඉතිහාසය සාක්කි දරනවා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපිවල සඳහන් වෙන විදියට, මහාතීර්ථය නම් වෙළඳ මධ්‍යස්ථානයක් දෙවි නුවර කිට්ටුව තිබිලා තියෙනවා. නිල්වලා ගඟ ගලා බසින්නේ මාතර නගරය මැදින්. එයින් එතෙර වෙන්න තිබුණු විශාල තොට යන්න අර්ථවත් කරන්න දාපු නම “මහ තොට” විදියටත්, මාතර යන්න එකෙන් නිර්මාණය වුණු නමක් බවත් ඇතැම් අය විශ්වාස කරනවා. පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයාණන් කියලා තියෙන විදියට නම්, අද අපි කියන මේ මාතර විශාල බලකොටුවක්. ඒ නිසා “මාලා තොට” විදියට මේක හඳුන්වපු බවත්, පසුව ඒක “මාතර” වුණු බවත් ජනප්‍රවාදයේ කියනවා.

5. කොළඹ

රාජාවලියේ කොළඹ හැඳුන්වා ඇත්තේ “කලන්තොට” හා “කැලණි ගම්තොට” යනුවෙනි. 1505, පෘතුගීසින්ගේ ලංකාගමනයෙන් පසු කොළඹ යන වර්තමාන නාමය ප්‍රචලිත විය.. “කොළ අඹ” මෙහි මුල් නම වූ අතර ගල් බොක්ක තුඩුව කොම්සරේයට් වීදිය අසල තිබූ අඹ නැති කොල පමණක් තිබුණු අඹ ගසක් මුල් කොට ගෙන මේ නම හැදෙන්නට ඇතැයි විශ්වාසයක් තිබේ. පෘතුගීසින්ට අනුව කොලඹ යනු කොලොම්බස්ට ගෞරව පිණිස තබා ගත් නමක්ද විය හැකියි. ඉබන් බතුතා හා වාං තා යුවාන් යන මුහුදු සෙනෙවියා “කොලාංපූ” හා “කලංපූ” ලෙස මෙම ස්ථානය හඳුන්වා තිබෙනවා. විදේශිකයින් විසින් ඇතිකල විශේෂ උච්චාරණයක් නිසා කොළඹ යන නාමය වඩාත් ස්ථාපනය වූ අතර පෘතුගීසි සමයේ බොහෝ ලියකියවිලි වල Kolahamba, Kolomba, Colahambo වැනි අනියම් රූප ද අපට දැක ගත හැකියි.

6. වත්තල

මේ නම හැදුණු විදි දෙකක් ගැන, අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. එකක් තමයි “වත්හල” යන වචනයෙන් වත්තල කියන නම හැදුණු බව. ඉස්සර තිබුණු ඇඳුම් කර්මාන්තශාලාවක් නිසා, මේ නම ඊට පටබැඳුණා ලු. “වත්” යන්නෙන් වස්ත්‍ර ද, “හල” යන්නෙන් ශාලාව ද අර්ථවත් වෙනවා. කේ. ජයතිලක මහත්මයා කියන විදියට නම්, තිසර සංදේශයේ “වස්තු ශාලාව” විදියට සඳහන් කරලා තියෙන්නේ වත්තල ගැන ලු. වස්තු ශාලාව, “වත්හල” වූ බවත්, පස්සේ කාලේදී ඒක වත්තල වුණු බවත් තමයි ඔහුගේ මතය.

7. කොග්ගල

කොග්ගල කියන්නේ කලපුවක් වග ඔයාලා දන්නවා ඇති. කඩොල් ගහණ පරිසරයක් වගේම, කොක්කුත් මේ හරියේ හොඳ හැටියට ඉන්නවා. ඉතින් මේ කොග්ගල ජලාශය මැද්දේ තියෙන ගල් පර්වතවල තමයි මේ කොක්කු ලැගලා ඉන්නෙත්. “කොකුන් ලැග්ග ගල” යන තේරුම දෙන්න එය “කොක්ගල” වූ බවත්, ඊටපස්සේ ඒක කොග්ගල වුණු බවටත්, බොහෝ දෙනාගේ මතයක් තියෙනවා.

8. යක්දෙස්සාගල

ලංකාවේ පළමුවෙනි රජතුමා විදියට හැඳින්වෙන්නේ “විජය” රජතුමායි. ඔහු මුලින්ම විවාහ කරගත්තේ කුවේණි නම් යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්. නමුත් තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගත්තට පස්සේ, ඉන්දියාවෙන් එන වෙනත් කුමරියක්ව කසාද බැඳගන්න විජය රජතුමා, කුවේණිවත් ඔවුන්ගේ දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පළවා හරිනවා. තමන්ට වුණු අසාධාරණය ගැන විජය රජතුමාට දෙස් දෙවොල් තියන්න, කුවේණිය පාවිච්චි කලේ අපි අද “යක්දෙස්සාගල” නමින් හඳුන්වන පර්වතයයි. “යක්ෂ ගෝත්‍රික කතක් දෙස් දෙවොල් තැබූ ගල”, මේ විදියට “යක්දෙස්සාගල” වුණු බවට මතයක් තියෙනවා.

9. නිට්ටඹුව

ඔබ මීට කලින් නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් ගැන අසා තිබෙනවා වන්නට පුලුවන්. ශරීරය පුරා ලෝම පිරුණු, දිගු නිය ඇති, ශරීරයෙන් ඉතා මිටිවූ, ගල් ගුහා, උමං තුළ කණ්ඩායක් ලෙස ජීවත් වූ වඳ වූ ජන කොට්ඨාශයක් ලෙස නිත්තෑවන් හැඳින්විය හැක. පුරා විද්‍යාත්මක කැණීම් වලින් නිත්තෑවන් පිළිබඳ විධිමත් සාධක හමු නොවූවත් මෙම පුරාවෘත වලින් අපට ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් දැන ගත හැක. ගම්පහට නුදුරු නිට්ටඹුව මෙන්ම මහනුවර නිත්තවල යන ගම් හා බැඳුනු ජනප්‍රවාද මෙම නිත්තෑවන් ඇසුරු කොට ගෙන ගොඩ නැගුනු ඒවා විය හැකියි. 

10. මහනුවර

මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී

අන්තර්ජාලය ඇසුරින්

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now