දෙන්නටම බරපතළ තුවාල - අනියම් පෙමක් කලවර වුණ තැන..
පුද්ගලයෙක් විසින් ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
අනතුරුව ඔහු සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති අතර ප්රදේශවාසීන්ගේ සහායෙන් ඔහුව රෝහල්ගත කර ඇත.
ඒ බව ඉංගිරිය පොලීසිය සඳහන් කළේ ය.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉංගිරිය, පෝරුව දණ්ඩ, පැල්පිටිගොඩ පදිංචි කාන්තාවක් සහ හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්රදේශයේ පුද්ගලයෙක් ය.
මෙම පුද්ගලයා ඊයේ(17) පෙරවරු 10ට පමණ තානායමට තනිවම පැමිණ කාමරයක් වෙන් කරගෙන ඇත.
ඊට විනාඩි 20 කට පමණ පසු කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබෙනවා.
ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරු දැක තිබෙනවා.
ඉන් පසුව මඳ වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව එම කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට පැමිණ පුටුවක වාඩි වී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් කළමනාකරු පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.
ඒ ඉංගිරිය බවුන්ඩර් පාරේ කැලෑබද ප්රදේශයක ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවටයි.
එහි ගිය පොලිස් නිලධාරීන් ප්රදේශවාසීන්ගේ සහායෙන් එම පුද්ගලයාව ද 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බවයි.