දත් දිරායාම - දත් කුහර ඇති වීමට බලපාන හේතු සහ සුව කරන පිළියම්.

Ministry of Health Sri Lanka Dental Problem
By Wayomi Oct 06, 2022 12:30 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දත් කුහර කියන්නේ වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් මුහුණදෙන සෞඛ්‍ය ගැටළුවක්. මේකට ලොකුම හේතු කුඩා කාලයේ සිටම ඔබ ඔබේ දන්ත සෞඛ්‍ය ගැන දක්වන නොසැලකිලිමත්කමයි. ඉතින් අපි බලමු දත් කුහර ඇති වන්නේ කොහොමද? සහ ඒවාට තියෙන පිළියම් මොනවද කියලා.

දත් දිරායාමට බලපාන හේතු

🟣 දුර්වල මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව (දත් නොමැදීම, ආහාර කොටස් කාලයක් පුරා දත් අතර ‍රැඳී තිබිම හා ඒවායේ බැක්ටීරියා වර්ධනය වී මැලියම් බැඳීම)

🟣 මුඛ කුහරයේ ආම්ලික pH අගයක් ඇතිවීම(මැලියම් හෙවත් දන්ත ජෛව පටල යනු අවර්ණ බැක්ටීරියා එකතුවකි.මෙම බැක්ටීරියා සීනි අඩංගු ආහාර වල සීනි අම්ල බවට පරිවර්තනය කරයි.එනමලය කොතරම් ශක්තිමත් වුවත් මෙම අම්ල නිසා එහි ඛනිජහරණය වීම සිදුවී දන්තිනය දක්වා හායනය වෙයි.දන්තිනය තෙක් දිරා නොගිය එනමලයේ කුහර නැවත ඛනිජකරණය කිරීමේ හැකියාව ඇත. )

🟣 සීනි, කාබෝහයිඩ්‍රේට හා ආම්ලික ආහාර පාන වැඩිපුර ආහාරයට ගැනීම.

🟣 දැනටමත් ඇතිවී ඇති දත් කුහර (මෙම කුහර වල ආසාදන අනෙකුත් දත් වලට පහසුවෙන් පැතිරිය හැකියි.ඩෙන්ටල් සීලන්ට් වැනි ක්‍රම භාවිතයෙන් නීරෝගි දත් වලට බැක්ටීරියා ආසාදන පැතිරීම වළක්වාගත හැකිය.ස්ථීර දත් මත දැදුරු මතුපිට මෙම සීලන්ට් සවිකරයි. )

🟣 කට වියළීම (කෙළ මඟින් මුඛයේ ‍රැඳි ඇති ආහාර හා බැක්ටිරියා බැහැර කරවයි. කෙළ අඩුවීම නිසා බැක්ටිරියා ගහණය වැඩිවීමෙන් දත් කුහර ඇතිවීමේ අවදානම ද ඉහළ යයි)

🟣 දත් මිටි කෑම (මින් දත් එනමලයට හානිසිදුවිය හැකි අතර දත් දිරායාමේ ඉඩකඩ වැඩිවීමට බලපෑ හැක)

🟣 වයස්ගත විමේදී දත් වල එනමලය ගෙවීයාම

🟣 ජානමය හේතු නිසා දත් දිරායාම

🟣 දන්ත කොපු (crowns), බොරු දත් (implants), පිරවුම් (fillings) හෝ දත් කුට්ටම් (dentures) වැනි දන්ත ප්‍රතිකාර උපකරණ ක්‍රමවත්ව පරිහරණය නොකිරීම (විශේෂයෙන් ඒවා නිතිපතා පිරිසිදු නොකිරීම බැක්ටීරියා වර්ධනයට හේතුවෙයි)


දත් දිරායාම හා දත් කුහර ඇති වූ විට,

🟣 දත් දුර්වර්ණවීම

🟣 දත් වල පැහැදිලි වලවල් /කුහර ඇතිවීම

🟣 සීනි ආහාර හෝ උෂ්ණත්වයන් වලට දත් වල සියුම් සංවේදීතාවක් ඇතිවීම

🟣 සීතල හා උණු උෂ්ණත්වයට සංවේදීවීම හා උත්තේජකය ඉවත්ව ගිය පසු වේදනාව යටපත්වීම

🟣 සීතල හා උණුසුමට ලක්වීමේදී වේදනාවක් දැනීම

🟣 එක්වරම දත් වල වේදනාවක් ඇතිවීම

🟣 සපන විට හා විකන විට වේදනාවක් දැනීම

🟣 ඉදිමුම හා සැරව ස්‍රාවය විමත් සමඟ ඉඳ හිට ඇතිවී නැතිවී යන වේදනාව.


සම්මත ප්‍රතිකාර ක්‍රම

🟣 ඉහත ලක්ෂණ ඔබටත් තියෙනවා නම් වැඩිකල් නොයවා දන්ත වෛද්‍ය උපදෙස සහ ප්‍රතිකාර ලබාගන්න.

🟣 මෙහිදී දත් පිරවීම (dental filling-දිරායමින් ඇති කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය වලින් කුහරය පුරවනු ලබයි),

🟣 ආවරණ කොපු පැලඳීම (dental crowns-හානි වූ දත පිළිසකර කර ස්ථීර ලෙස ආවරණයක් දැමීම),

🟣 ස්නායු පිරවීම (root canal- දත් මුල් දක්වා පැතිර ගිය ආසාදනයකදී ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස ආසාදිත පල්ප කොටස (දතේ ජීවි කොටස) ඉවත්කර පිරවීමට ලක්කිරීමයි),

🟣 දත් ගැලවීම (බරපතල ලෙස දිරාගොස් ඇති දත් නිසා අනෙක් දත් වලට ආසාදනය පැතිරීම වැළැක්වීමට එම දත් ගලවා ඉවත්කරයි. අවශ්‍ය නම් යළි කෘතිම දතක් සි‍ටුවිය හැකියි.)


දත් නැවත අළුත්වැඩියාවට සහ දත් කුහර ඇතිවීම පාලනය කරන සරල විසඳුම්


ලුණු වතුර

🔵 ලුණු තේ හැඳි 1 ක් උණුසුම් වතුර වීදුරුවක දිය කර මිනිත්තුවක් පමණ කට කළතාවා සෝදන්න. මෙය කිහිපවරක් කරන්න.

🔵 විකල්පයක් ලෙස, ලුණු තේ හැඳි 1/2 අබ තෙල් හෝ ලෙමන් යුෂ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සකසාගන්න.

🔵 විදුරුමසේ ගල්වා සියුම්ව සම්බාහනය කර උණුසුම් වතුරෙන් කට කළතවා සෝදන්න.දිනකට දෙවරක් බැගින් දින කිහිපයක් කරන්න.


තෙල් ඉරීම

🔵 තල තෙල් මේස හැඳි 1 ක් කටට වත්කරගන්න.

🔵 මිනිත්තු 20 ක් පමණ කට පුරා තෙල් ගමන් කරන ලෙස කළතවන්න. කෙළ ගසා ඉවත්කරන්න.

🔵 ගිලීමෙන් වළකින්න.

🔵 උණුසුම් වතුරෙන් කට සෝදන්න.ලුණු වතුර වඩාත් උචිතයි.සාමාන්‍ය පරිදි දත් මැද පිරිසිදු කරගන්න.දිනපතා උදෑසන හිස්බඩ මේ ක්‍රමය අනුගමනය කරන්න.

🔵 මෙයට පොල් තෙල් හෝ සූර්යකාන්ත තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කළ හැකියි.


කහ සම්බාහනය

🔵 කහ කුඩු තේ හැඳි 1/2 ක් අබ තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර දතේ හා විදුරුමසේ ගල්වා සම්බාහනය කරන්න.

🔵 මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර කෙළ ගසා ඉවත්කරන්න.

එහෙමත් නැත්නම්

🔵 බලපෑමට ලක්ව ඇති දත මත කහ කුඩු ස්වල්පයක් ගල්වන්න.

🔵 මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් කට සෝදන්න.


සුදුළූණු

🔵 සුදුළූණු බිකි 3 ක් හා ලුණු කැට ස්වල්පයක් පමණ තලා පේස්ට් එකක් සාදාගන්න.

🔵 ආසාදිත දතේ ගල්වා මිනිත්තු 10 තබන්න.

🔵 මුවසේදුම් දියරයකින් කට සෝදන්න.

🔵 කුහර අඩුවීමට දිනකට දෙවරක් සති 2 ක් පමණ කරන්න.


කරාබු නැටි තෙල්

🔵 කරාබු නැටි තෙල් බිංදු 2-3 ක් තල තෙල් තේ හැඳි 1/4 ක් සමඟ තනුක කරන්න.

🔵 පුළුන් කැබල්ලක් එහි පොඟවා රිදුම් දෙන දත මත තබන්න.

🔵 රාත්‍රී නින්දට පෙර මෙය කරන්න.


වැල්මී

🔵 වියළි වැල්මී කුඩු වලින් දත් මදින්න,මෘදු වැල්මී කෝ‍ටු කැබැල්ලකින් දත් පිරිසිදු කරන්න.

🔵 වියලි වැල්මී මුල් වල ලිකොරිසයිඩීන් හා ලිකොරිසොෆ්ලැවින් A යන ප්‍රබල බැක්ටීරියානාශක සංඝටක ද්විත්වයක් අඩංගු වෙනවා.

🔵 මේවා මඟින් කුහර ඇතිකරවන බැක්ටීරියා වර්ධනය වීම වළකයි. එමෙන්ම මැලියම් බැඳීම ද අඩුකරයි    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW