ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන "ටින්ඩර්" ඇප් එක මෙන්න..ධනුෂ්ක අමාරුවෙ වැටුනෙත් මේකෙන්..

Australia Danushka Gunathilaka
By Aruna සති 1 කට පෙර

මිලියන හැත්තෑ පහක් සක්‍රියව පරිහරණය කරන ප්‍රධානම යෙදවුම අන්තිමේදී ධනුෂ්ක ගුණතිලක ඇප ලබා එළියට ආවේය.

එළියට ආවත් ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්ය.

ඒ මතු නොව ඔහුට සමාජ මාධ්‍ය භාවිතයත් තහනම්ය.

මේ තහංචි දමා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උසාවියකි. ධනුෂ්කට මේ තහංචි දැමීමට හේතුවූ කතාව මුළු රටම දනී.

ලංකාවේදී ගස් ගණනාවකටම කොටන්නට ගොස් පාඩමක් ඉගෙන නොගත් ධනුෂ්ක කෙහෙල් ගහට කෙටුවේ ඔස්ට්‍රේලියාවේදීය.

ඔහුට එරටදී හිරේ විලංගුවේ වැටීමට සිද්ධ වූයේ තරුණියකට අතවර කිරීමේ චෝදනාවටය. මේ සිද්ධියේදී ධනුෂ්ක, එම තරුණිය හා තවත් වචනයක් කරළියට ආවේය.

ඒ වචනය ලංකාවට නුහුරුය, නුපුරුදුය. කොච්චර නුහුරු නුපුරුදු වුණත් අපේ ඇත්තෝ ඒ නමෙන් කරන වැඩ අල්ලා ගන්නට වැඩි කාලයක් ගත්තේ නැත.

ඔස්ට්‍රේලියාවට ගිය ධනුෂ්ක “ටින්ඩර්” පස්සේ නොගියා නම් ඔහුට මේ ස්ත්‍රී දූෂණ චෝදනාව එල්ල වන්නේද නැත.

ඊට හේතුව මේ තරුණියත්, ධනුෂ්කත් මුණ ගැස්සූ කපුවා ටින්ඩර්ය.

ලංකාවේ වැසියන්ට මේ වචනය අලුත් අත්දැකීමක් වුවත් යුරෝපයේ අය නම් වසර දහයක පටන් මේ ගැන හොඳහැටි දැනවුන්නේය.

කොටින්ම කියනවා නම් ටින්ඩර් කියන්නේ ඇප් එකකි. ඔස්ට්‍රේලියාවේදී ධනුෂ්කට හිරේ යන්නට පාර කැපුණු ටින්ඩර් උපත ලැබුවේ ඇමරිකාවේය.

ඉන් කරන්නේ ඉස්සර අපේ ගම්වල මඟුල් කපුවන් කළ වැඩේය. එසේ නැතිනම් සතිඅන්ත පත්තරවල මනාලියන්, මනාලයන් සොයන දැන්වීමක් සේය.

යුදෙව් පවුලකට ඥාතීත්වයක් ඇති ෂෝන් රෝඩ්ට ඇමරිකාවේ පැවැත්වෙන එක්තරා සන්නිවේදන තාක්ෂණ තරගයක් ගැන 2012 වසරේදී අසන්නට ලැබුණි.

එම වැඩසටහන හඳුන්වන්නේ “Kackathon’” හෙවත් ”මැරතන්” කියාය.

මෙම තරගයට සහභාගී වන කණ්ඩායම් හෝ තනි පුද්ගලයකු තමන් කැමැති ආකර්ෂණීයම හා වේගවත්ම මෘදුකාංගයක් පැය විසි හතරක කාලයකදී නිර්මාණය කළ යුතුය.

මේ අභියෝගය හිස්මුදුනින්ම පිළිගත් ෂෝන් ‘මැච්බොක්ස්‘ නමින් අලුත් මෘදුකාංගයක් නිර්මාණය කර ඔවුන් වෙත ඉදිරිපත් කළේය.

ඒ ආදරයක් සොයන අයට තමන් කැමති ආදරය සොයා දෙන්නටය. පසුව, “Kackathon’ තරගයේ විනිසුරන් තීරණය කළේ වැඩි දියුණු කළ හැකි මෘදුකාංගයක් ලෙස ‘මැච්බොක්ස්‘ නම් කරන්නටය.

පසුව, ෂෝන් තනිව ඇරඹු ‘මැච්බොක්ස්‘ මෘදුකාංගය වැඩි දියුණු කිරීමට ජොනතන් බඩීන්, විට්නි වුල්ෆ් සහ ජස්ටින් මාර්ටින් යන මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සහය ඔහුට ලැබුණි.

මෙසේ අලුත් අත්හදා බැලීම් කරමින් නිමකළ ‘මැච්බොක්ස්‘ මෘදුකාංගය වෙනත් නමකින් ඇරඹීමට ෂෝන් තීරණය කළේය.

මෙයට ඔවුන් නම් තැබුවේ ආදරය කරන්නට හවුල්කරුවන් සොයාදෙන ‘ටින්ඩර්’ කියාය.

ලෝකයම එක මිටට ගත් මුහුණුපොත පවා නිර්මාණය කළේ යුදෙව් ජාතිකයෙකි.

ඔහුත් මේ අලුත්ම යෙදවුම ප්‍රසිද්ධියට පත් කළේ ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඒ යෙදවුම හුවමාරු කරමින්ය.

ඒ ආකාරයටම ෂෝන් ද සිය අලුත්ම යෙදවුම හඳුන්වා දුන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිසුන් වෙතය.

ඒ විශ්වවිද්‍යාලයේ සිටින තරුණ තරුණියන්ට තමන්ගේ සහකාරයා සොයා ගන්නට කරන උදව්වක් ලෙසිනි.

එසේ ඇරඹි ‘ටින්ඩර්‘ අද වනවිට රටවල් එකසිය අනූ හතක පුද්ගලයන් මිලියන හැත්තෑ පහක් සක්‍රියව පරිහරණය කරන ප්‍රධානම යෙදවුම බවට පත්ව තිබේ.

එපමණක් නොව, බිලියනයකට අධික පිරිසක් ‘ටින්ඩර්‘ යෙදවුම සිය ජංගම දුරකතනයට බාගත කර තිබුණි.

එදා ෂෝන් සහ සගයන් තිදෙනා එකතු වී ‘ටින්ඩර්‘ ලෝකයට හඳුන්වා දුන්නේ ආදරය කරන්නට සහකරුවෙක් හෝ සහකාරියක් සොයන්නටය.

විනෝද ගමන් යන්නට, දුක බෙදා ගන්නට වගේම අලුත් යහළුවන් එකතු කරගන්නටත් මේ යෙදවුම භාවිත කරන නව පරම්පරාවක් සිටීමද මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.

එය කෙසේ වෙතත් මෙම යෙදවුම ලෝකය පුරාම වඩාත් ප්‍රචලිත වූයේ 2019 වසර අග භාගයේදීය.

ඒ ලෝකයම වෙලාගත් ‘කොවිඩ් 19‘ වසංගතය ව්‍යාප්ත වූ සමයේදීය.

එකල සිය නිවසේ බිත්ති හතරටම කොටුවූ පිරිසට මුහුණුපොතේ හෝ වෙනත් සමාජ මාධ්‍යයක උඩට පහළට යාම පවා නීරස කටයුත්තක්ව පැවතුණි.

ඒ තරමටම ඔවුන්ට මුහුණුපොත එපාවූ ආකාරයක් දිස්වන්නට විය.

මේ නිසා බොහෝදෙනෙක් සමාජ මාධ්‍යයෙන් පරිබාහිර සිය පාළුව කාංසිය මකා ගන්නට තැනක් සොයමින් සිටියහ.

මේ අතරතුර ඇමරිකාවේ පමණක් ප්‍රචලිතව තිබූ ‘ටින්ඩර්‘ ගැන අනෙක් රටවල අයත් සොයන්නට විය.

මුහුණුපොතේ නම් කෙනෙක් සමාජ ගත කරන පොස්ටු, වීඩියෝ, යහළුවන් සමග කෙටි පණිවුඩ හුවමාරුව කරගන්නට සහ දුරකථන ඇමතුම් ගැනීමට පමණක් හැකිවුවත් ‘ටින්ඩර්‘ වෙනස්ම ආකාරයේ යෙදවුමක් විය.

මුලින්ම ඔබේ විස්තරත් පසුව ඔබ කැමැති අකැමැති දෑ මෙහි සඳහන් කර තමන්ටම කියා මුහුණුපොතේ ගිණුමක් මෙන් ‘ටින්ඩර්‘ ගිණුමක් සකසා ගත හැකිය.

ඉන්පසුව, මේ ගිණුමට අලුතින්ම ඔබ සොයන සහකරුවාගේ ගති පැතුම්, හැඩරුව, රැකියාව වැනි කරුණු එකතු කරන්නටත් හැකියාවක් ඇත්තේය.

එලෙස ඔබේ ගිණුමේ තොරතුරුවලට සමාන අය කවුරුන්ද කියා ‘ටින්ඩර්‘ යෙදවුමෙන් ඔබට හඳුන්වා දෙන්නේය.

ඒ අයගෙන් ඔබ කැමති අකමැති අය තෝරාගෙන ආදරය කරන්නට, හමුවී කතා බහ කරන්නට, විනෝද ගමන් බිමන් යන්නට සහ මිතුරන් ලෙස ඇසුරු කරන්නට සුදුසු පුද්ගලයන් තෝරා ගන්නට හැකියාව ලැබෙන්නේය.

එසේ හමුවන්නෙත් තමන් ජීවත්වන නගරයේ සිට සැතපුම් සියයකට ආසන්න වපසරියක සිටින ‘ටින්ඩර්‘ ගිණුම් හිමියන් පමණි.

මෙසේ සහකරුවන් සොයන ‘ටින්ඩර්‘ යෙදවුම වැඩි වශයෙන්ම භාවිත කරන්නේ ඇමරිකානුවන්ය.

එරට පුද්ගලයන් මිලියන අටකට ආසන්න සංඛ්‍යාවක් ‘ටින්ඩර්‘ යෙදවුමේ යාවත්කාලීන සාමාජිකයන්ය. ඉන්පසුව, දෙවැනුව බ්‍රිතාන්‍යයත් තුන්වැනුව බ්‍රසීලයත් පිළිවෙළින් සිටියි.

සාමාන්‍යයෙන් ‘ටින්ඩර්‘යෙදවුම වැඩි හරියක්ම භාවිතයට ගන්නේ අවුරුදු තිහත් හතළිස් හතරත් අතර පුද්ගලයන් බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණයකින් හෙළි වී තිබුණි.

ඒ අයගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවාහ වූ පුද්ගලයන් බවත් ඒ වාර්තාවෙන් පෙන්වා දෙයි.

මේ අතර දිනකට එකොළොස් වතාවට වැඩි වාර ගණනක් ‘ටින්ඩර්‘ යෙදවුමේ ගැවසී සහකරුවන් සොයන්නට බොහෝදෙනෙක් පෙලඹී තිබුණි.

කෙසේ හෝ, මෙම යෙදවුම මගින් කිසිදු අයකුට අයුතු යෝජනාවක් හෝ හිරිහැරයක් කරන්නට කිසිදු හැකියාවක් නොමැත.

තමන් සහකරුවකු සොයන්නේ මිතුරෙකු ලෙස ඇසුරු කරන්නට නම් ඒ බවත් ‘ටින්ඩර්‘ හි ඔබේ ගිණුමේ සටහන් කළ හැකිය.

නමුත්, තවත් අයකුට තමන් සොයන්නේ විවාහ වන්නට සුදුසුස්සෙක් නම් ඒ බවත් ‘ටින්ඩර්‘ හි පළකරන්නට හැකියාව ලැබෙන්නේය.

එසේ බලන විට ධනුෂ්ක අදාළ තරුණියට ටින්ඩර් මගින් යෝජනා කළේ මිතුරියක ලෙස ඇසුරු කරන්නමදැයි, නැතිනම් විවාහ වන්නටදැයි කියන්නට අප දන්නේ නැත.

නමුත් ඒ දෙකින් මොකක් කළත් අන්තිමේදී සිද්ධ වූයේ ස්ත්‍රී දූෂණ චෝදනාවකි.

ධනුෂ්කට එසේ වුවත් විවාහය දක්වා සහකරුවන් සොයා ගත් ප්‍රතිශතය සියයට හතළිස් හතරක් බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වාර්තාව මගින් සනාථ කර තිබුණි.

ධනුෂ්කගේ සිදුවීමත් සමග ලංකාවේ වැඩිදෙනෙක් සොයන සහ බාගත කරන යෙදවුම බවට පත්වී තිබුණෙත් ‘ටින්ඩර්‘ ය.

කෙසේ නමුදු ෂෝන් ‘ටින්ඩර්‘ නිර්මාණය කළේ සහකරුවන් සහකාරියන් සොයන මංගල දැන්වීම් තීරුවක් ලෙස වුවත් ආසියාවේ බහුතරයක් සිය ‘ලිංගික තෘප්තිය‘ සඳහා පමණක් ‘ටින්ඩර්‘ යෙදවුම භාවිත කරන බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

එලෙස බලන විට දැලි පිහියෙන් පරිස්සමට කිරි කන්නට පුළුවන් වගේම විනාඩියක අතපසුවීමකින් කටවුවත් කපා ගත හැකි බව ‘ටින්ඩර්‘ අපට පසක් කර හමාරය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now