දෙදරු පියා ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.

Sri Lanka
By Sithumi May 04, 2023 03:47 PM GMT
Report

 කොළඹ මහාධිකරණය විසින් වයස අවුරුදු 44ක දෙදරු පියෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 123ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.මෙලෙස දඬුවම් හිමි වුණේ මහරගම, දහම් මාවතේ පදිංචි තුසිත කුමාර සතරසිංහ නමැත්තෙකුට ය.

එනම්, පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත 2013 වසරේ ජුනි මස 18 වනදා මහරගම ප්‍රදේශයේදී  එම නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 123ක් සමග මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.ඔහුගේ ත්‍රිරෝද රථයේ රහස් කුටියක් තුළ තිබී ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජීව උණ්ඩ දෙකක් ද එහිදී සොයාගෙන තිබූ බව නඩු විභාගයේදී අනාවරණය වුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now