නිදා සිටි සංචාරක යුවලගේ කබානාවට ඇතුළු වී "මහදේර කොටා" සිදු කළ දේ.

By Sewvandhi Jan 23, 2023 08:50 AM GMT
Report

 විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි යුවළකගේයි.

පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි. ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 

 එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780ක මුදලක් ද සොයාගෙන තිබේ. යෝධ වැව පැත්තෙන් කම්බි වැටෙන් රිංගා පැමිණි සැකකරු සිපර් එකක් යොදා වසා තිබූ කබානාව තුළට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ සංචාරක යුවළ නිදා සිටි බවත් පසුව එහි තිබූ කුඩා බෑගයකින් අදාළ මුදල් සොරාගත් බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් සැකකරු නැවත කම්බි වැටෙන් රිංගා යන අවස්ථාවේ විදෙස් යුවළ අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු පොරවා ගෙන සිටි රෙද්ද පමණක් අතට හසුවී තිබේ.

පසුව සැකකරුවන් විසින් රැගෙන ආ පිහියක් හා පාවහන් යුවළ පොලිස් භාරයට ගෙන තිබූ අතර, සැකකරු කබානාව තුළට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.

එලෙස මුදල් සොරගෙන ඇත්තේ, "මහදේර කොටා" යනුවෙන් හඳුන්වන ලබන පුද්ගලයෙකු බවත් පසුව එම මුදල් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු හා ළඟ තබාගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

  සැකකරුවන් අද දින තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුදල් අදාළ සංචාරකයින්ට ලබාදීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.