සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපට තවමත් ආරාධනා නෑ

Srilanka Muslim Congress M. A. Sumanthiran Sri Lanka
By Sithumi Jul 25, 2022 02:42 PM GMT
Report

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරාධනයක් තවමත් ලැබී නැති බවයි.

එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව මාධ්‍යවලින් පමණක් තමා දුටුවේ යැයිද හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් නැති බවයි.

එවැනි ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ දැයි ආරාධනය ලැබුණු පසු සලකා බලන බවද ඔහු කීවේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අප දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තවමත් එවැනි ආරාධනයක් නැති බවයි.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව දැනුම් දුන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙතෙක් තම පක්ෂයට එවැනි ආරාධනයක් ලැබී නැති බවයි. ආරාධනයක් ලැබුණු පසු පක්ෂය ඒ ගැන සාකච්ඡා පවත්වා තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now