කැපකිරීම් කිරීමට සූදානම් වන්නැයි මෙරටට IMF කියයි

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Sithumi Jan 26, 2023 05:22 PM GMT
Report

 ආර්ථික පුනර්ජීවනය කිරීමට සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන්හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට මෙරට නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියන් පවසනවා.

   ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණ කර ඇති බවයි.  

ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියන් පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීයි.  

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ බවයි.  

 ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂිත දැලක් අත්‍යාවශ්‍ය වන බව ආචාර්ය ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියන් පෙන්වා දී තිබෙනවා.  

  අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැප කිරීම් සිදු කිරීමට සූදානම් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළ බවයි.