දෙවියන්ට සමාන ක්‍රියාවක් කළ මෙරට රෝහල් කාර්ය මණ්ඩලයේ සිදුකළ අගය කළ යුතු වැඩේ
පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය.
කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා සිය රෝහල් කාර්යමණ්ඩලය සමග එක්වී මෙම හෘදරෝගිගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇත. නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.කේ.ප්‍රේමතිලක නම් 65 හැවිරිදි අයකු හදිසියේ අසනීප වී ඇත.
තම එකම පුතා හමුදා පුහුණුවට ගොස් ඇති නිසා නිවසේ හුදකලාව ජීවත් වූ මෙම යුවළට එම අවස්ථාවේ පිහිටවීමට කිසිවෙක් නොවූ නිසා රෝගී අයගේ බිරිඳ විසින් තම අසල්වැසින්ගේ සහායෙන් කැබ් රථයකින් රෝගියා කටුගහහේන රෝහලට ගෙනවිත් ඇත. එහිදී එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී රෝගියාට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදී රෝගියාගේ තත්වය අසාධ්‍ය බැවින් වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලවෙත රැගෙන යාමට ගිලන් රථයක් ලබාගැනීමට උත්සාහ කළත් ගිලන්රථ ඉන්ධන නොමැතිව ධාවනය කිරීමට නොහැකි වීම නිසා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාට ඒ බව දැනුම් දී ඇත
. පසුව වෛද්‍ය රංජිත් දිසානායක මහතාද වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය සමග රෝගියා පරීක්ෂාකර බලා රෝගියා හැකි ඉක්මණින් විශේෂ හෘදරෝග ප්‍රතිකාර සඳහා යොමුකළ යුතු බවට තීරණය කර ඇත. ගිලන්රථයක් ලබාගැනීමට නොහැකි වීම නිසා වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය රංජිත් දිසානායක මහතා රෝහලේ ගාල්කර තිබු තම මෝටර් රථය ගෙනවිත් හෙද නිලධාරිණි පියුමි නිසංසලා කරුණාරත්න මහත්මිය , රෝහල් කාර්යමණ්ඩලයේ පුබුදු මහතා සහ රෝගියා රෝහලට රැගෙන ආ අසේල ප්‍රමෝද් සමග ඔක්සිජන් ඇතුළු මුලික ප්‍රතිකාර අඛණ්ඩව ලබාදෙමින් රෝගියාව ඉක්මනින් කළුතර නාගොඩ මහා රෝහලට රැගෙන ගොස් බාරදී ඇත. මේ පිළිබඳව කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා මෙසේ පැවසීය.
මෙම රෝගියා ඉතාම අසාධ්‍ය තත්වයෙන් සිටියේ. ගිලන් රථයක් නොමැති වීම නිසා වටිනා මිනිස් ජීවිතයක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට ඉඩ දීමට අපට හැකියාවක් නැහැ. වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම ජීවිත ආරක්ෂා කිරීමයි. මම පසුගිය කාලයේ ඉන්ධන හිඟය නිසා රෝහලට පැමිණීමට සහ කෙටි ගමන් සඳහා පාපැදියක් භාවිතා කල නිසා මගේ මෝටර්රථයේ ඉන්ධන සුළු ප්‍රමාණයක් ඉතිරි වී තිබුනා. එම ඉන්ධන ප්‍රමාණය භාවිතා කර මෙම අසාධ්‍ය රෝගියාගේ ජීවිතය බේරාගැනීමට මට හැකියාව ලැබුනා