දිස්ත්‍රික්ක ‍රැසක සිදුවූ නාමයෝජනා ගැටලු

Election Commission of Sri Lanka 2022 France presidential election Election
By Sithumi Jan 21, 2023 04:25 PM GMT
Report

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසා තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කළා.

 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඊට විරෝධතා දැක්වීම සඳහා පැය 1.30 ක කාලයක් අද ලබාදී තිබුණු අතර ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කළා.

   නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වුණා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ කිහිපයක් අද නාමයෝජනා පත්‍ර භාරදී නොතිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා ඉදිරිපත් කර නොතිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහනගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් නොකළ බවද කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළා. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ද ප්‍රතික්ෂේප වුණු අතර අතර නිදහස් ජනතා පෙරමුණ තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝපේ පොද්දල සහ අක්මීමන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී නොතිබුණු අතර මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීනව තරග කිරීම සඳහා පුද්ගලයෙකු සිය  නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ තිබුණ ද එහි නීතිඥවරයෙකුගේ හෝ සාමදාන විනිශ්චය කරුවෙකුගේ අත්සන හා නිල මුද්‍රාව නොතීබීම නිසා එයද ප්‍රතික්ෂේප වී තිබුණා.