උසස් පෙළ පිළිතුරු පත්‍ර ගැටලුව ගැන ජනපති කළ ප්‍රකාශය..

By Sithumi Mar 31, 2023 05:29 PM GMT
Report

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම නිසා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීමට සම්බන්ධ නොවීමෙන් එම කටයුතු මේ වනවිට මසකට වැඩි කාලයකින් ප්‍රමාදවී තිබෙනවා. 2023 ජනවාරි මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 339,000ක් පෙනී සිටි අතර විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 23 වනදා සිටයි.

පිළිතුරු පත්‍ර ඇගයීමට ආසන්න වශයෙන් සති 06ක් ගතවන අතර ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය 19,000ක් වන අතර පසුගිය වසරේ සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කළද මෙතෙක් ලැබී ඇත්තේ අයදුම්පත් 13,000ක් පමණි.

මේ හේතුවෙන් සංයුක්ත ගණිතය, විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයවලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම කිසිදු අයුරකින් ආරම්භ කළ නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.

මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ආසන්න වශයෙන් 1,400 දෙනෙක් අවශ්‍ය වන අතර ලකුණු ලබාදෙන ක්‍රමවේදය සැකසීම සහ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගීවන ගුරුවරු පුහුණු කිරීම ඔවුන්ගේ කාර්යභාරය වන අතර එක් පිළිතුරු පත්‍රයක් ඇගයීමට ගුරුවරුයෙකුට රුපියල් 150 – 175 ත් අතර ගණනක් ගෙවනු ලබනවා.

ඊට අමතරව දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබාදුන් රුපියල් 1,450 ක මුදල රුපියල් 2,000ක් දක්වා ඉහළ නැංවීමට රජය විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබුණු අතර නමුත් මෙම කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළ යුතු බව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි ඔවුන් ඒ සඳහා හේතු ලෙස පෙන්වා දී තිබුණේ. කෙසේවෙතත් විශ්‍රාමික ආචාර්යවරු කිහිපදෙනකු පමණක් දැනට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවී සිටී.

එමෙන්ම මෙම ගැටලුව මතුවී ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් වන අතර දෙමළ මාධ්‍ය ගුරුවරු දරුවන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කර ඇති බව වාර්තා වන අතර වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පසුගිය 29 වනදා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වූවද එය එකඟත්වයෙන් තොරව අවසන් වී තිබුණා.