මන්ත්‍රීවරුන් 107ගෙන් ජනපතිට විශේෂ ලිපියක්..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Dec 24, 2022 10:29 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු , රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත. පසුගිය මාර්තු 31වනදා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමර්ශන කොමිසමක් පත්කරනු ලැබුවා.

එහි සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ගුවන්හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව මෙහි විමර්ශනය සිදුකර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි සිදුකිරීම, ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත් කරගැනීම හා වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිබත් කිරීම පිළිබඳව මෙහිදී විමර්ශනයට ලක්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 107 දෙනෙකු සිය අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසය.

මෙම විමර්ශනයේදී ප්‍රචණ්ඩක්‍රියා සියල්ල පාලනය කිරීමට එවකට පොලීසිය හා හමුදා අංශ අසමත් වූ බවත්, බොහෝ අවස්ථාවල හමුදා හා පොලිස් ප්‍රධානීන් පහළ නිලධාරීන්ට එම ප්‍රචණ්ඩක්‍රියා වළක්වන ලෙස උපදෙස් ලබාදී නොමැති බවත්, ඒ නිසාම අදාළ නිලධාරීන් චේතනාන්විතව සිය වගකීම් පැහැරහැර ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now