සිමෙන්ති සහ රබර් සමග මිශ්‍ර කළ හැකි ප්‍රබල රසායනිකයක් මෙරටින් සොයා ගැනේ..

Sri Lanka
By Aruna Feb 22, 2023 03:23 AM GMT
Report

නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරනවා.

හෙතෙම පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩ නැඟීමටත් අවශ්‍ය පදනම සකසා ගැනීම සදහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.

බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන GRAPHENE OXIDE රසායනිකය තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීය.

බෝගල GRAPHITE සමාගමේ පාලනාධිකාරිය විසින් GRAPHENE OXIDE රසායනිකය කනක හේරත් මහතාට, හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන්ද දැනුවත් කෙරිණි.

GRAPHENE OXIDE රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේදී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බව එම සමාගම පෙන්වා දෙයි.

දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක උවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබව බෝගල GRAPHITE සමාගම පෙන්වා දෙයි.

GRAPHENE OXIDE රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයකි. GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයකි.

එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට නොහැකිය. එහෙත් බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන්නේ GRAPHENE OXIDE රසායනිකය වේ.

එම රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීමය.

එමෙන්ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේදී එහි ශක්තිය වැඩි කිරීමටද යොදා ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දේ.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ මෙවැනි නව නිපැයුම්කරුවන් ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ අවස්ථාව මේ වසර තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙන INDUSTRY 4.0 සහ 5.0 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී හැකිවන බවයි.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අපේක්ෂාව වී ඇත්තේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහෙය වීමයි.

මෙවැනි නව පර්යේෂණ හා නිෂ්පාදන ඒ සඳහා ගුණාත්මක ඉදිරි පියවරක් බව ද කනක හේරත් මහතා පැවසීය.

බෝගල GRAPHITE සමාගමේ නව හඳුන්වා දීම සම්බන්ධයෙන් එම ආයතනයට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා, මෙය ඉතා වැදගත් පර්යේෂණයක ප්‍රතිඵලයක් බැවින් ඉදිරියේදී මෙරට සිමෙන්ති නිෂ්පාදනයයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත් උසස් වටිනා කමක් සහිතව නිපදවීමට අවස්ථාව උදා වන බව ද කීය.

මෙම අවස්ථාවට බෝගල GRAPHITE සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අමිල ජයසිංහ මහතා, මෙම පර්යේෂණය සිදු කළ එම සමාගමේ අනුර ලියනගේ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now