ඉන්දියාව මෙරට තත්ත්වය ගැන දැඩි කණස්සල්ලෙන්

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis India World Economic Crisis
By Sewvandhi Jul 20, 2022 11:32 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කිසිම විටකත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනට යාමටත් එතැන් සිට සිංගප්පූරුවට යාමටත් ඉන්දියාව පහසුකම් ලබා නොදුන් බව ආචාර්ය ජයිශංකර් මහතා එහිදී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වැනි අර්බුදයක් ඉන්දියාවේ ඇති වීමට ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට කෙසේ බලපෑමක් එල්ල වේ දැයි ඉන්දියාව කණසල්ලෙන් පසුවන බව ආචාර්ය එස්.ජයිශංකර් මහතා පැවසුවේය. ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව අනෙක් කිසිම රටකටත් වඩා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතැයි ආචාර්ය එස්.ජයිශංකර් මහතා වැඩි දුරටත් පැවසුවේය.

නොමග යවන සුළු සැසඳීම් උපුටා දක්වමින් ඇතැම් පුද්ගලයන් ඉන්දියාවේත් එවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට අවස්ථාව තිබේ දැයි ප්‍රශ්න නගන බව එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය,ආම් ආද්මි පක්ෂය,ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය,නැෂනල් කොන්ෆරන්ස් පක්ෂය,තිලඟන රාෂ්ට්‍ර සමිති,බහුජන සමාජ පක්ෂය,වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය, එම්.ඩී.එම්.කේ පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now