ශිරාන් බාසික් නිදොස් කොට නිදහස් වෙයි.

Sri Lanka Police Supreme Court of Sri Lanka
By Wayomi Mar 14, 2024 12:23 PM GMT
Report

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (14) නියෝග කරනු ලැබුවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන්.

සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වනදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසළදී හෙරොයින් ග්‍රෑම් 4.53ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.

එහි ප්‍රථමයෙන් සඳහන් කර තිබුණේ ඔහු තනිව අත්අඩංගුවට ගත් බවට වුවද පසුව අදාළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ දරුවා සමඟ සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම තමාට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ වැටලීම කළ බවට පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ පවසා තිබුණද එම දුරකථන අංකය වසර එකහමාරකට පමණ පෙර විසන්ධි කර ඇති බවට සාක්ෂි සහිතව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

ඒ, අනුව එම සාක්ෂි පදනම් කර ගනිමින් විත්තිකරු වරදකරු කිරීම නුසුදුසු බවට විනිසුරුවරයා එහිදී නිගමනයකට එළඹ තිබෙනවා.