"මම සාය ගලවලා ලේ පිහ දැම්මා.." ගමක් කැළඹු තිදරු මවගේ ඝාතනයේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

murder sri lanka bandara Indrani saliyagama
By Sewvandhi Jan 22, 2022 10:28 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අපරාධයක් සිදුකළ පුද්ගලයකු එම අපරාධය වසන් කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදයි. කිසිවක් සිදු නොවුණු ලෙස හැසිරෙයි. අපරාධය සොයන්නට පොලිසියටද සහය දෙයි.

එහෙත් දක්ෂ පොලිස් නිලධාරියාට අපරාධකරුගේ හැසිරීමෙන් ඉරියව් තුළින් ඔහු ගැන කිසියම් සැකයක් ඇති කර ගැනීමට හැකිවේ. අවසානයේ උපක්‍රමශීලී ප්‍රශ්න කිරීම් තුළින් එම අපරාධ සිදුකර ඇත්තේ ඔහු බව ඔහුගේ පෙර හා පසු හැසිරීමෙන් අනාවරණය කර ගත හැකිවේ.

මෙවන් අපරාධකරුවකු සම්බන්ධයෙන් පුවතක් පසුගියදා පුත්තලම පොලිස් කොට්ඨාසයේ සාලියවැව පොලිසියෙන්ද වාර්තා විණි. සාලියවැව ප්‍රදේශයේ බොහෝමයක් පිරිස් ජීවත්වන්නේ කෘෂිකර්මාන්තයෙනි. තවත් සමහරු එදිනෙදා කුලී වැඩවල යෙදෙමින් දවසේ කුලිය සොයා ගනිති. නගරයෙන් ඇතුළට ඇති ගම්මානවල ජීවත්වන බොහෝමයක් දෙනා තවමත් ගෙවන්නේ කටුක ජීවිතයකි.

බොහෝ අඹු සැමියන් අතර ඇතිවන ආරවුල් නිසා පොලිස් පොතද පිරී පවතී. ඉන් අඩක්ම අසාර්ථක පවුල් ජීවිත ගත කරන්නෝ වෙති. සැමියා අතහැර ගිය ගැහැනුන් මෙන්ම බිරියගෙන් වෙන්වී වෙනත් කාන්තාවන් සමඟ පවුල් කන පිරිස් වසමේ දකින්නට හැකිවේ. ඉන්ද්‍රාණිද එවන් කාන්තාවකි. ඇය පනස් හය හැවිරිදිය. පිරිමි දරුවන් තිදෙනකුගේ මවක් වන ඇගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගොසිනි.

මේ වනවිට දරුවන්ද කරදඬු උස් මහත් වූවෝ වුවද ඇය එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නේ කුලී වැඩක යෙදෙමිනි. ලොකු කොලුවා දීගෙක ගොස් සිටී. ඇය ජීවත් වන්නේ බාල පුතු සමඟිනි. නැති බැරිකම ඉහවහා ගියද කාලයක් තිස්සේ ඇය මත්පැනට පුරුදුව සිටියාය.

හොර රහසේ කෙරෙන නීති විරෝධී මත්පැන්වලට ඇය ඇබ්බැහි වී ඇති සැටියකි. ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රාණි අතමිට මුදල් අහිමි වූ විට නිවෙසට මීටර දෙසීයක් තුන්සියයක් අෑතින් පිහිටි ගඩොල් සෝමෙගේ තිප්පොළේ ගඩොල් කැපීමට යෑම පුරුද්දක් කරගෙන සිටියාය. ඇය සමඟ තව දෙතුන් දෙනකුම ගඩොල් කැපීම සිදුකළහ.

කපන ලද ගඩොල් ගණනට පමණක් මුදලක් ලබාදීම එහි හිමිකරු ගඩොල් සෝමේගේ ක්‍රියාකලාපය විය. දින ගණනාවක් ගඩොල් පෝරනුව පැත්තේ නොපැමිණි ඉන්ද්‍රාණි ඉකුත් 15 වැනිදා ගඩොල් කැපීම සඳහා පැමිණෙද්දී බණ්ඩාරද ගඩොල් කැපීමට පැමිණ සිටි අයුරු ඉන්ද්‍රාණි දකින්නට ඇත.

බණ්ඩාරද එතරම් හොඳ චරිතයක් ඇත්තකු නොවේ. ඔහුටද දරුවන් දෙදෙනකු සිටී. කෙල්ලන්ම දෙන්නෙක් සිටියද බණ්ඩාරගේ ක්‍රියාකලාපය නොරිස්සූ ඔහුගේ බිරිය ඔහු දමා ගොස් දැනට වසර කිහිපයකි. ඒ නිසා ගඩොල් වැඩපළට යාබදව පැලක් තනාගෙන එහි ජීවත් වන බණ්ඩාර අතමිටට කීයක් හෝ සොයා ගන්නේ ගඩොල් සෝමේ ළඟ ගඩොල් කැපීමෙනි.

එලෙස උපයා ගන්නා මුදලද ඔහු වියදම් කරන්නේ මත්පැනට බව ගඩොල් සෝමේ පමණක් නොව ඒ අවට බොහේ දෙනා දනිති. ඒ නිසා බණ්ඩාර නිතරම සිටින්නේ බීමතිනි. සමහරදාට බණ්ඩාරට දිවා ආහාරය සප්පායම සෝමේ විසිනි. නැතහොත් කුමක් හෝ වෑංජනයක් සමඟ බත් ටිකක් පැලේම සාදා ගැනීමටද බණ්ඩාර පුරුදුව සිටී ඉකුත් පහළොස්වැනිදා උදෑසන බණ්ඩාර හා ඉන්ද්‍රාණි හැරෙන්නට වෙනස් පිටස්තරයකු ගඩොල් කැපීම සඳහා පැමිණ සිටියේ නැත.

ගඩොල් පෝරනුවේ හිමිකරුද උදෑසනම වැඩපළ වෙත පැමිණ දෙදෙනාට ගඩොල් කැපීම සඳහා අවශ්‍ය උපදෙස් දී එතැනින් පිටව ගියේ සාලියවැව නගරයට යෑමට තිබූ අවශ්‍යතාව නිසාය. ඒ නිසා එදා ගඩොල් කැපීම සිදුකළේ බණ්ඩාරත් ඉන්ද්‍රාණිත් බව හිමිකරු හොඳින් දැන සිටියේය.

මෙලෙස නගරයට පිටව ගිය පෝරනුවේ හිමිකරු නැවත ගඩොල් වැඩපළට පැමිණියේ දිවා කාලයේය. බණ්ඩාර සුපුරුදු පරිදි ගඩොල් කැපීමේ නිරතව සිටියද ඉන්ද්‍රාණි පෙනෙන තෙක් මානයක නොවීය. “කෝ බං ඉන්ද්‍රාණි අක්කා” පෝරනුවේ හිමිකරුට බණ්ඩාර පිළිතුරු දුන්නේ වැනි වැනිය. “උඹ අද උදෙන්ම ගහලා නේද? කෝ බං මේකි කොහෙ ගියාද? ඉතුරු ගඩොල් ටික කපන්නෙ නැද්ද?” බණ්ඩාර මත්පැනින් සප්පායම් වී ඇති බව දත් හිමිකරු ගඩොල් කැපීම බාගෙට සිදුකළ ඉන්ද්‍රාණි ගැන විමසුවේ ඒ මේ අතද විපරම් කරමිනි.

“අනේ මන්දා මේකි කොහේ ගියාද කියලා. මටත් ඕවට වගකියන්න වෙයිද දන්නෙ නැහැ.” බණ්ඩාර ගඩොල් පෝරනු හිමිකරු ඉදිරියේ මුමුනන්නට වූයේ වෙරි මතිනි. “මොකටද උඹ වගකියන්නේ. උඹට වගකියන්න හේතුවක් නැහැනේ.” “නැහැ. ඒ වුණාට එකි මගෙත් එක්කනේ ගඩොල් කැපුවේ. ඒකයි මම එහෙම කිව්වේ” “අනේමන්දා මේකි කොහේ ගියාද මේ වැඩේ බාගෙට කරලා.

ගඩොල් 38යි කපලා තියෙන්නෙත්.” “ඔය කොහේ හරි අරක්කු බොනවා ඇති.” බණ්ඩාර එසේ කියමින් සුපුරුදු රාජකාරියේ යෙදෙන්නට වූයේ වෙරිමත ඔහුට එතරම් අපහසුතාවක් ගෙන නොදුන් නිසාය. කෙසේ වෙතත් 15 වැනිදා රාත්‍රිය නික්මී ගියද ඉන්ද්‍රාණි ගඩොල් වැඩපළට නොපැමිණි අතර ගඩොල් හිමිකරු අනුමාන කළේ ඇය සිය ගෙදරට යන්නට ඇති බවය.

එතැනින් එහාට බණ්ඩාරත් ගඩොල් සෝමේත් අතර ඉන්ද්‍රාණි ගැන කිසිදු කතා බහක් ඇති නොවුවද පසුදින ඇය යළි වැඩට එනු ඇතැයි සෝමෙගේ සිතේ විශ්වාසයක් තිබිණි. 16 වැනිදාද ඉන්ද්‍රාණි ගැන තොරතුරක් දැන ගැනීටම ගඩොල් වැඩපළේ හිමිකරුට හැකියාවක් නොලැබුණද සුපුරුදු පරිදි බණ්ඩාර ගඩොල් කැපීමේ නිරතව සිටියේ ඉන්ද්‍රාණි ගැන හාන්කවිසියක්වත් නොදත්තකු ලෙසය.

“අදත් අරකි වැඩට එන්නේ නැහැ වගේ” සෝමේ එසේ කීවද බණ්ඩාරගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔහු වෙනදා මෙන් කසිප්පු වඩියකින් සප්පායම් වී සුපුරුදු පරිදි ගඩොල් වැඩපළ ආසන්නයේ ඇති පැල තුළ නිදාගෙන සිටියේය.

16 වැනිදා ගෙවී ගොස් 17 වැනිදාට උදාවුවද ඉන්ද්‍රාණි ගඩොල් කැපීම සඳහා පැමිණ නොසිටියද වෙනදා මෙන් ගඩොල් වැඩපළේ හිමිකරුගෙත් බණ්ඩාරගෙත් අවධානය ඇය වෙත යොමු නොවිණි. සුපුරුදු පරිදි බණ්ඩාරද ගඩොල් කැපීමේ නිරතව සිටි අතර වැඩපළේ හිමිකරු වෙනත් වැඩකටයුතුවල යෙදී සිටියේ එදිනත් ගඩොල් කැපීමට ඉන්ද්‍රාණි අක්කා නොඑන බවට ඇතිවූ සැකයෙනි.

“අයියේ අපේ අම්මා වැඩට ආවේ නැද්ද?” මේ අතර ඉන්ද්‍රාණිගේ බාල පුතු කලබලයෙන් එතැනට පැමිණ ගඩොල් සෝමෙගෙන් ඒ ගැන විමසුවේ ඒ දින දිකේම තම මව නිවෙසට නොපැමිණි බව සඳහන් කරමිනි. “ඇයි බං අම්මා ගෙදර ආවෙ නැද්ද? මේ දවස් දෙකේම අම්මා මෙහේ ආවේ නැහැ.

පහළොස් වැනිදා දවල් වෙනකම් වැඩකරලා මෙහෙන් ගියා. අඩුම ගානේ මටවත් කිව්වේ නැහැ. ගඩොල් 38ක් විතර කපලා තිබුණා. ඒකේ සල්ලි ගන්නවත් ආවේ නැහැ.” “ඇත්තද අයියේ. මාර වැඩේනේ. අම්මා ගෙදර ආවේ නැහැනේ” “පුතේ ඉන්ද්‍රාණි අක්කා එදයින් පස්සේ ඇහැටවත් දැක්කේ නැහැනේ.”

හිමිකරු බණ්ඩාර දෙසට හැරී එසේ පැවැසුවත් බණ්ඩාරද ඊට හූමිටි දුන්නේ ඉන්ද්‍රාණි අක්කා දින දෙකක් තිස්සේ ඔහුටද දකින්නට නොලැබූ බව කියමිනි. ඉන්ද්‍රාණි සමහරදාට මෙලෙස දින දෙක තුන වෙනත් ගෙවල්වල නතර වන බව ඇගේ බාල පුතා දැන සිටියද ඒ කිසිදු තැනක මව නොසිටීම ඔහුටද මහත් ප්‍රශ්නයක් ගෙන දුනි.

ගඩොල් හිමිකරුත් බණ්ඩාරත් සමඟ එකතුව ඒ අවට විපරම් කළද ඔවුන් කිසිවකුටත් ඉන්ද්‍රාණි සොයාගත නොහැකි විණි. “කෝකටත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන්..” ගඩොල් පෝරනුවේ හිමිකරු කියන අයුරු බණ්ඩාරටද ඇසිණි. ඒත් ඔහු තම රාජකාරියේ නිරතව සිටියේ ඉන්ද්‍රාණි ගැන සොයන්නට ඔහුට අවශ්‍යතාවක් නොතිබූ හෙයිනි

. 17 වැනිදා දහවල් ඉන්ද්‍රාණිගේ බාල පුතු නිරෝෂන් සාලියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන හමුවී තම මවගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු පවසන්නේ දින දෙකක්ම ඇය ගෙදර නොපැමිණි බවටද පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් කරමිනි. “පැමිණිල්ල දැම්මට පස්සේ මමත් ක්‍රයිම් ඕ.අයි.සීත් ටීම් එකකුත් ඔය ගඩොල් පෝරනුව තිබුණු තැනට ගියා.

පොලිසියේ ඉඳන් හරියටම තියෙන්නේ කිලෝමීටර් 9 මීටර් 300යි. අපි යනකොට ඔය බණ්ඩාර කියන පුද්ගලයා පෝරනුව ළඟම තියෙන පැලේ හිටියා. අපිව දැක්ක ගමන් මිනිහා මේසය උඩ තිබුණු වතුර බෝතලේ බීගෙන බීගෙන ගියා. අපි බණ්ඩාරගෙන් ඇහැව්වා ඉන්ද්‍රාණි කෝ කියලා. අනේ මම දන්නේ නැහැ සර්.. ඔය කොහේ හරි යන්න ඇති. එදා දවල් ඉඳන් මමත් දැක්කේ නැහැ.

ගඩොල් ටිකත් බාගෙට කපලා ගිහින් තියෙන්නේ කියලා මිනිහා අපිට කිව්වා. ඒත් අපේ සැරයන් චරිත්ට මේ පුද්ගලයා ගැන ඒ වෙනකොටත් තොරතුරු ඇවිත් තිබුණේ. අපිට මිනිහගේ කතාවෙනුත් ඉරියව්වලිනුත් පොඩි සැකයක් ඇතිවුණා. අනික මේ ගෑනු කෙනා අන්තිමට ගඩොල් කපලා තියෙන්නේ මෙයත් එක්කනේ. ඒ සැකයත් නිසා මම නිලධාරියෙක් බණ්ඩාර ගාව තියලා අපි ටිකක් කැලේ ඇතුළට ගියා.

අපි ගඩොල් පෝරනුවේ අයිතිකාරයාගෙනුත් ප්‍රශ්න කළා. එයා කිව්වේ උදේ වැඩ පවරලා ගියා. දවල් එයා කෑමත් අරන් එනකොට බණ්ඩාර හිටියා ඉන්ද්‍රාණි හිටියෙ නැහැ කියලයි. පස්සේ අපි කැලේ ඇතුළට යනකොට අපිට පෙනුණා එක තැනක ගස් කොළන් තණකොළ එහෙම පොඩිවෙලා තියෙනවා. කවුරු හරි එතන වාඩිවෙලා ඉඳලා තියෙනවා වගේ සලකුණු.

ඒ නිසා මට සැකයක් ඇතිවුණා මෙතැන කවුරුහරි ඉඳල තියෙනවා කියලා. ඒ සැකය නිසාම තව ටිකක් ඉස්සරහට යනකොට අපිට පෙනුනා ඒ හරියෙත් ගස් කොළන් තැළිලා තියෙන ආකාරය. ඒ කියන්නේ කවුරුහරි බිම දිගේ ඇදගෙන ගිය සලකුණු තිබුණා. දිගටම තණකොළ තැළිලා තිබුණා. එතැනදී අපිට සැකයක් ආවා ඒ වෙනකොට අතුරුදන් වෙලා හිටිය ඉන්ද්‍රාණිට මොනවාහරි කරදරයක් වෙලා තියෙන බවට.

අපි තව ටිකක් ඒ අවට සෝදිසි කළා. අපි සැක කළා වගේම ඊට මීටර් සීයක් විතර අෑතින් ඉන්ද්‍රාණිගේ මිනිය තිබිලා අපිට හම්බවුණා. ඒත් යට ඇඳුම් තිබුණේ නැහැ. උඩට ඇඳගෙන හිටියේ අත්දිග ෂර්ට් එකක්. ඒක ඇඹරිලා කර ගාවට වගේ ඇවිත් තිබුණා. ඒ නිසා අපි විශ්වාස කළා කවුරු හරි ඉන්ද්‍රාණිව කැලේ දිගේ ඇදගෙන ඇවිත් එතැනට දාන්න ඇති කියලා. ප්‍රශ්නයකට තිබුණේ ඉන්ද්‍රාණිගේ මළසිරුර නරක්වෙලා තිබුණු එක විතරයි. ඒ දවස් දෙකේම එතැන තිබුණු නිසා.

එහෙත් අපි මේ කිසිවක් නොදැක්ක විධියට නැවතත් ගඩොල් පෝරනුව ළඟට ආවා. බණ්ඩාර කියන පුද්ගලයා එතකොටත් එතැනම හිටියා. අපිට මිනිහා ගැන සැකයක් තිබුණට ඒක තහවුරු කරගන්න විධියක් තිබුණේ නැහැ. අනික අපරාධකාරයෙක් අපරාධයක් කළාම එතැනින් පැනලා යනවනේ. ඒත් මෙයා එහෙම දෙයක් කළා නම් පොලිසියට අහු නොවෙන්න පැනලා යනවා වුණාට මෙයා එතැනම හිටියා.

මිනිහා හිටියෙ පැලේ නිසා අපිට මිනිහා මේක කළා කියලා කියන්නත් බෑනේ. මම මුකුත් නොදන්න විධියට බණ්ඩාරට එන්න කියලා ආයෙත් මිනිහගෙන් ඇහැව්වා “කෝ බං මේ ඉන්ද්‍රාණිට මොකද වුණේ” කියලා...” ස්ථානාධිපතිවරයා එසේ විමසද්දී බණ්ඩාරගේ තොල කට වියැළිනි. ඔහු එතැනම තිබූ වතුර බෝතලයක් ගෙන මුවගට හලාගත්තේ. “අනේ සර්... මම මේ මුකුත් දන්නේ නැහැ. එයා මගේ අක්කා වගේ” යැයි කියමිනි.

“සර් මූ දවල්ට ගෙනාපු බත් එකවත් තවම කාලා නැහැ. මම දිගටම බලාගෙන හිටියේ. මේකා මේ ටිකට වතුර බෝතල් දෙක තුනක්ම එක දිගටම බිව්වා. මූ කතා කරන්නෙත් අමුතු විධියට..” බණ්ඩාර අසල නතර කළ පොලිස් කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයා හමුවේ එසේ පවසද්දී බණ්ඩාරගේ පසු හැසිරීම් පිළිබඳ හොඳින් නිරීක්ෂණය කළ පොලිස් ස්ථානාධිපතිවරයා දුටුවේ බණ්ඩාර කිසියම් තැති ගැනීමකින් සිටින බවත් ඔහුගේ ඇඟිලිවල වෙව්ලන ස්වභාවයක් ඇති බවත්ය.

අපරාධකරුවන් සම්බන්ධයෙන් හොඳ හැටි පළපුරුද්දක් ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනට බණ්ඩාරගේ පසු හැසිරීම තුළින් ඉන්ද්‍රාණිගේ මරණයට බණ්ඩාරගේ කිසියම් සම්බන්ධයක් ඇති බවට නිගමනය කිරීමට හැකිවිය.

වහා මේ සම්බන්ධයෙන් ඔහු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා දැනුවත් කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස වසර ගණනාවක් සේවය කොට මෑතකදී එම තනතුරට උසස් වීම් ලැබූ ඔහුද අපරාධ විමර්ශනයෙහිලා දක්ෂකම් දැක්වූ නිලධාරියෙක් විය

. ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ආරම්භ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ඉන්ද්‍රාණිගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකාර බණ්ඩාරව සාලියවැව පොලිසියට රැගෙන ආවේය. බණ්ඩාර ඒ වනවිටත් ඉන්ද්‍රාණිගේ මළසිරුර පොලිසියට හමුව ඇති බව දැන සිටියේ නැත. පසුව ඔහුව සිය කාර්යාලයට කැ¼දවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහුට සිය අසුන ඉදිරිපිට අසුනේ වාඩි ගන්නට ඉඩ සැලැස්විය. “

මාර වැඩේනේ කොල්ලෝ. එතකොට මොකද ඉන්ද්‍රාණිට වුණේ!..” “අනේ මම දන්නෙ නැහැ සර්... අක්කා කොහේ හරි ගියාද කියලා” “ඇත්තටම උඹ දන්නෙම නැද්ද” “නැහැ මහත්තයෝ ඒකිට පිස්සු.. ඒකි එදා වැඩ කළෙත් නැහැ. උදේ ආව වෙලාවේ ඉඳන්ම බොන්න තමයි ඉල්ලුවේ. මම අරක්කු ටිකක් ගෙනාවා. අපි දෙන්නම බිව්වා.

ඊට පස්සේ අක්කා කොහේ හරි යන්න ඇති. උන්දෑ කොහේ හරි ඇති මහත්තයෝ... කොහේ හරි බීලා වැටිලා ඇති.” බණ්ඩාර හතර අතේ දිවුරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේය. රාත්‍රියේ පොලිසියට ගෙනැවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද බණ්ඩාරගෙන් ඉන්ද්‍රාණිගේ මරණය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් දැනගත නොහැකිවිය.

එහෙත් ඉන්ද්‍රාණිගේ මළසිරුර හමුවූ බවක් ස්ථානාධිපතිවරයා බණ්ඩාරට ඒ මොහොතෙත් පැවැසුවේ නැත. ඒ නිසා බණ්ඩාර සිතුවේ පොලිසියට තවමත් ඇය සොයාගත නොහැකි වී ඒ බව තමාගෙන් දැන ගැනීමට උත්සාහ ගන්නා බවය. කෙසේ වෙතත් ඒ අතරතුරත් බණ්ඩාර පොලිස් නිලධාරීන්ගෙන් වතුර ඉල්ලමින් වතුර වීදුරු කිහිපයක්ම හිස් කළේය. දිගින් දිගටම වතුර බීම ගැන තවදුරටත් සැක පහළ කළ නිලධාරීන් අවසානයේ ඔහුව උපක්‍රමශීලීව කොටුකර ගත්තේය

. “අපි උඹට මෙච්චර වෙලා චාන්ස් දුන්නා. දැන් ඉතින් ඇත්ත කියපන්. උඹ නේද අර ගෑනිව මැරුවේ. අපි ඔක්කොම හොයාගෙන ඉවරයි.” නිලධාරීන් බණ්ඩාර ඉදිරියේ කීවේය. ඒ සමඟම ඔහුගේ මුව ගොළුවිය. ඔහුගේ උගුර කට වියළි ගියේය. “සර්.. මට වතුර ටිකක්..” බණ්ඩාර මිමිණුවේය. ඒ වනවිට වේලාව අලුයම තුනට විතර තිබිණි. “වතුර දෙන්නම්. ඇත්ත කියපන්කො ඉස්සෙල්ලා”

සර් මම ඇත්තම කියන්නම් සර්.. අපි දෙන්නා කැලේ ඇතුළට ගිහින් අරක්කු බිව්වා. මමයි අරක්කු ගෙනාවේ. ඒ වෙලාවේ අක්කා මාව බදාගන්න හැදුවා. මම ඒකට කැමැති වුණේ නැහැ. මට කේන්ති ගියා. මම පයින් එයාගේ බෙල්ලට ගැහැව්වා. ඒ පාරට අක්කා වැටුණා. විනාඩි පහක් යනකොට නහයෙන් කටෙන් ලේ ආවා. අක්කාගේ සාය ගලවලා ලේ පිහිදුවා. අක්කා මැරුණු බව මට තේරුණා. පස්සෙ මම අක්කව කකුල් දෙකෙන් ඇදගෙන ගිහින් කැලේ ඇතුළට දාලා පැලට වෙලා හිටියා. මම පැනලා ගියේ නැහැ. එහෙම ගියා නම් පොලිසිය මාව සැකකරන නිසා මම අරක්කු බිබී පැලට වෙලා හිටියා සර්. අනේ සර් මට වතුර..”

ඔහුගේ ඉල්ලීමට කන්දුන් නිලධාරීන් ඔහුට නැවතත් බීමට වතුර වීදුරුවක් දුන්නේය. ඔහු එක හුස්මට එය බීගෙන බීගෙන ගියේය. අවසානයේ දිග සුසුමක් පිටකළ බණ්ඩාර පොලිස් නිලධාරීන් දෙස බයාදු බැල්මක් හෙළීය. නිලධාරියකු ඔහුගේ දෑතට මාංචු යොදවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ විමර්ශන අංශයට රැගෙන ගියේය.

බණ්ඩාර පවසන පරිදි ඉන්ද්‍රාණි මියගියේ ඔහුගේ පා පහර නිසාද යන්න නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහා ඉන්ද්‍රාණිගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. එහිදී හෙළිවූයේ ඇය පහරදී ඝාතනය කර ඇති බවය. සැකකාර බණ්ඩාර පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වයඹ පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්. නිමල් පෙරේරා, පුත්තලම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමග යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත පුත්තලම සහකාර පොලිස් අධිකාරි III සංජීව මහානාම මහතාගේ උපදෙසින් සාලියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.පී. ප්‍රියදර්ශන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, සැරයන්වරුන් වූ පතිරාජ (7014), ගුණවර්ධන (59340), චරිත් (66112) හා කොස්තාපල්වරුන් වූ සෙනෙවිරත්න (74988) ලියනාරච්චි (87169) යන නිලධාරීහු මෙම විමර්ශනවලට එක්ව සිටියහ. (පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.) කීර්ති මෙන්ඩිස් මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now