සජිත්ගේ තීරණයෙන් රනිල් ශක්තිමත් වෙයි.!! නව ජනපති රනිල්ද?..

Anura Dissanayake Dullas Alahapperuma Ranil Wickremesinghe Sajith Premadasa
By Aruna Jul 20, 2022 12:51 AM GMT
Report

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා.

ඒ, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුගේ නාමයෝජනා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම හේතුවෙන්.

එම අපේක්ෂකයින් වන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීමට පාර්ලිමේන්තුව රැස් වුණේ ඊයේ පෙරවරු 10ටයි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් නාමයෝජනා භාර ගැනීමේ නිවේදනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නාමයෝජනා භාර ගැනීම සිදු වුණා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පළමුව යෝජනා කළා.

එය ස්ථීර කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් විසින්. ඉන් අනතුරුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා යෝජනා කළා.

එය ස්ථීර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්. ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා යෝජනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථීර කළා.

එම නාමයෝජනා තුන භාරගත් බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව සභාවේ කටයුතු අද දිනය දක්වා කල් තැබුණා.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතුප අවසන් කිරීමෙන් පසු මැතිඇමතිවරුන් රැසක් මාධ්‍ය වෙත අදහස් පල කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ පක්ෂයේ බහුතරයකගේ තීරණයකට අනුව තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ජනාධිපති අපේක්ෂක නාමයෝජනාව ස්ථීර කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වශයෙන් පත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට තමන් ඇතුළු කණ්ඩායම එකඟ වන බවට ඒ මහතා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ, පොදුු සතුරා පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට සිය පක්ෂය තීරීණය කළ බවයි.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර පැවසුවේ, සමඟි ජන බලවේගය ගෙන ඇති තීරණය හේතුවෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය තවත් ශක්තිමත් වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ, තමන් ඇතුළු ස්වාධීන පක්ෂ 10යේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබා දෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now