රුසියාවේ අලුත්ම සැලසුම ගැන යුක්රේනයෙන් දැනුම්දීමක්..

Russo-Ukrainian War Ukraine
By Aruna Jan 03, 2023 04:46 AM GMT
Report

යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක් ගතවීම සඳහා තවත් කෙටි කාලයක් ඉතිරිව තිබියදී, එම යුද්ධය හේතුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියාව මෙන්ම යුක්රේනය ද පරස්පර මත ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ අනුව යුක්රේන යුද්ධයේදී ප්‍රධාන යුද කලාපයක් වූ ඩොන්බාස් ප්‍රදේශයට යුක්රේනය ඉකුත් දා එල්ල කළ ප්‍රහාර හමුවේ රුසියානු හමුදා සාමාජිකයින් 400 දෙනෙකු පමණ මියගොස් ඇතැයි යුක්රේනය ඊයේ අනාවරණ කළා.

රුසියානු හමුදා සාමාජිකයින් 300 දෙනෙකු පමණ එම ප්‍රහාරවලදී තුවාල ලබා ඇති බවයි යුක්රේනය පවසන්නේ.

රුසියාවට සිදුවූ හානි සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද යුක්රේන ආරක්ෂක අංශ පවසනවා.

කෙසේවෙතත් යුක්රේනයේ මෙම ප්‍රකාශ සඳහා ප්‍රතිචාර දක්වමින් රුසියාව පැවසුවේ, යුක්රේනය එල්ල කළ ප්‍රහාර හමුවේ මියගොස් ඇත්තේ සිය හමුදා සාමාජිකයින් 63 දෙනෙකු පමණක් බවයි.

එහෙත් දෙපාර්ශවය අතර තවදුරටත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවන් පසුබිමක් තුල ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට රුසියාව සූදානම් වන බවට යුක්රේනය චෝදනා කරනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තමන්ට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

2023 වර්ෂය ආරම්භයත් සමග රුසියාව විසින් යුකරේනය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ගතවූ දින 02 තුලදී ප්‍රහාර සඳහා පැමිණි ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 80 ක් පමණ විනාශ කළ බව ද යුක්රේනය ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now