රටටම සුබ ආරංචියක් ගෙන එමින් ජනපති සුබපැතුම් එක් කරයි..

Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jan 01, 2023 01:26 AM GMT
Report

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසර සඳහා වන සිය සුබ පැතුම එක් කරමින් කියා සිටිනවා.

එහි දී ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ, "අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමිනි.

රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් මා සතුය.

නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරේ.

නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත.

එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටී.

එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට සියලුදෙනාට සුභාශිංසනය කරමි.

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !" යනුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now