ජනපති රනිල්ගෙන් ඇමරිකානු තානාපතිනියට සැර පිළිතුරක්..!

Ranil Wickremesinghe Sri Lanka United States of America Julie Chung
By Sewvandhi Jul 23, 2022 04:32 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ. එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය. මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.   

ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ. එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ. තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.

එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය. තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now