සියලු පක්ෂවලට සර්ව පාක්ෂික ආණ්ඩුවේ යෝජනා - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Ranil Wickremesinghe Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Aug 06, 2022 12:13 PM GMT
Report

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43වන සේනාංකය සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමග පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට සැමගේ උද්යෝගය පැසසීමට ද ලක් කර තිබෙනවා.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමග 43වන සේනාංකය සුබවාදීව කටයුතු කරන අතර රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කර වෘත්තිකයන් පත්කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවයි 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියා සිටියේ.

දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පමණක් රටක් ගොඩනැගිය නොහැකි බව කියා සිටි චම්පික රණවක පෙන්වා දුන්නේ වෘත්තීය නිපුණතාවය සහිත පුද්ගලයන්ගේ දායකත්වය ඊට ප්‍රධාන සාධකයක් කරගත යුතු බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අනාගත ලෝකය දෙස බලා විෂය නිර්දේශ සැකසිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කළා.

රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පියවරෙන් පියවර ඉදිරියට යා හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ. සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සර්ව පාක්ෂික ආණ්ඩුකරණ සාකච්ඡාවේදී ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පදනම් ලේඛනයක් සහිතව සාකච්ඡා ඉදිරියට යාමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා සාර්ථක කරගැනීමට ඉවහල් කරගත හැකි බව කියාසිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ද සිය කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පොදු වැඩපිළිවෙළක් සාකච්ඡා කළ බවත් දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිවලට එකඟ විය නොහැකි වුවත් පොදු සම්මුතියකට එකඟ වැඩපිළිවෙළක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් කියාසිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now