රාමසාන් දිනයේදී සිදුවනවා යැයි කියන පිපිරීම ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්..ආරක්ෂාවත් තර කෙරේ..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 21, 2023 09:23 AM GMT
Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රාමසාන් දිනයේදී සහ ඊට පෙරදිනයන් හිදී ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, යම් පිපිරීමක් සිදුකරන බවට ලැබී තිබූ තොරතුර සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කිරීමක් සිදු කළේය.

"රාමසාන් කාලසීමාවේදී හඳුනාගත් මුස්ලිම් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වැඩපිළිවෙලක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා විසින් පළාත් භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නා."

"ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර යොදවන්න කියන උපදෙස ලබාදීලා තිබෙනවා."

"ඊට අමතරව අපරාධකරුවන් සිටිනවා නම් ඔවුන් හඳනාගැනීම සඳහා මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් කටයුතු කරන්න කියන උපදෙසත් ලබාදීලා තියෙනවා."

"පානදුර ප්‍රදේශයේ පල්ලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදුන්නා කියන ප්‍රචාරය බොරු ප්‍රචාරයක්. නමුත් අකුරණ සිද්ධිය ගත්තොත්.. පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබිලා තිබුණා. අකුරණ නගරයේ පිපිරීමක් සිදුකරනවා කියලා. මෙම තොරතුර ව්‍යාජ එකක් ද? සත්‍ය එකක් ද? කියලා තහවුරු කරගන්නා තුරු එම ස්ථානයට ආරක්ෂාව ලබාදීමේ අවශ්‍යතාවය තිබුණා."

"ඒ අනුව ඒ ප්‍රදේශය බලන සහකාර පොලිස් අධිකාරීවරයාත් එම ප්‍රදේශයට යොමු කරලා මුස්ලිම් පල්ලිවල පූජකවරුන් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල දියත් කළා."

"නමුත් දැන් අපිට තේරෙනවා ඒ තොරතුර ව්‍යාජ තොරතුරක් කියලා. ඒ සම්බන්ධයෙනුත් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යාජ තොරතුර දුන් පුද්ගලයා අනාවරණය කරගැනීම සඳහා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now