රාජිතගේ නැව් අටේ නඩුව ඉල්ලා අස්කර ගනී - CID යෙන් ප්‍රකාශයක්..

CID - Sri Lanka Police Dr Rajitha Senaratne Sri Lanka
By Sithumi Jul 25, 2022 04:02 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (25) ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනුකර කටයුතු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (25) කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now