අරගලයේ සාමාජිකයන් පොලිසිය හමුවී විශේෂ සාකච්ඡාවක

Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi Jul 11, 2022 12:35 PM GMT
Report

පසුගිය ජුලි මස 09 වනදා පැවති අරගලයට එක්වූ කිසිදු පුරවැසියෙකුට එරෙහිව නීත්‍යානුකූල පියවර නොගන්නා ලෙසට අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් පොලීසියෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

සහ පොලීසිය සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකදී අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් මේ බව දැනුම්දෙනු ලැබීය. එහිදී අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් විසින් පොලීසියට දැනුම්දෙනු ලැබුවේ අදාළ සිදුවීම ජනතා නගීටීමක් බවත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කිසිදු බලයක් නොමැති බවත්ය.

අරගලයේ නිරත ජනතාව වෙනුවෙන් එම අවස්ථාවට එක්වූ නීතීඥයින් පෙන්වාදෙනු ලැබුවේ පසුගිය ජුලි මස 09 වනදා කිසිදු අවශ්‍යතාවයකින් තොරව ජනතා අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වූ බවය. මේ අතර පසුගිය 09 වනදා පැවති ජන අරගලයේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදුණු අරගලයට සම්බන්ධ අයෙකු රෝහල්ගතකර ඇති බව පසුගිය 09 වනදා ජාතික රෝහලෙන් පොලීසිය වෙත දැනුම්දුන් බව එහිදී පොලීසිය වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ඒ අනුව අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති අතර ඒ අනුව අදාළ තරුණයා වෙඩි ප්‍රහාරයට ලක්වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකොට තිබේ.

පසුව අධිකරණය විසින් දැනුම්දී ඇත්තේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් වේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය. මේ අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ රුධිර සාම්පල ස්ථානීය පොලිස් අපරාධ විමර්ශන ඒකක වෙත ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් එම වෙඩිතැබීම සිදුවූ බවට සඳහන් ස්ථානයේ කළ පරීක්ෂාවේදී කිසිදු හිස් පතොරමක් සොයාගැනීමට නොහැකි වූ බවද පොලීසිය පැවසීය. මේ අතර වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත දැනුම්දී ඇති බවද පොලීසිය වැඩිදුරටත් එහිදී පෙන්වාදෙනු ලැබීය.

අදාළ සිද්ධිය වූ ස්ථානයේ ඇති පෞද්ගලික බැංකුවක CCTV කැමරා දර්ශන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ලබාගැනීමට නියමිත බවද පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන බවද එහිදී අරගලයේ නිරත සිවිල් ක්‍රියාකාරීන් වෙත පොලිසිය දැනුම්දෙනු ලැබීය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා හදිසි ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක් වෙත ඇතුලත් කර ඇති බවද පොලීසිය එහිදී පැවසීය. එසේම අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය යුද හමුදාවේ නීති අංශය සමඟ ද සාකච්ඡා සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

එහිදී යුද හමුදාව විසින් පොලීසිය වෙත දැනුම්දී ඇත්තේ නෛතිකව එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බවත් කිසිම පුද්ගලයෙකුට එල්ළකිරීමකින් වෙඩිතැබීමක් සිදු නොකළ බවත් පොලීසිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ. කෙසේ වෙතත් අදාළ රෝගියා තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව තමන් තහවුරු කරගත් බව මෙම සාකච්ඡාවට එක්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා එහිදී පෙරළා ප්‍රශ්න කර සිටියහ.

එම අවස්ථාවේදී පොලීසිය පැවසුවේ අදාළ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියාගේ හිසට මොට ආයුධයකින් සිදුකරන ලද බරපතළ පහරදීමකින් ඇතිවූ තුවාලයක් බවට දැනට සිදුකළ පරීක්ෂණවලට අනුව තහවුරුව ඇති බවට වෛද්‍යවරුන් පවසන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now