ජීවිතයට පුංචි කතාවක්. කළු හොරුන්ගෙන් දරුවන් බේරාගමු.
දරුවන් ඉන්න අම්මලාට. තාත්තලාට වැදගත් ලිපයක්.
" අම්මේ ...මගේ පාට පැන්සල් පෙට්ටියේ කළු පාට නෑනේ...අද සචිනිත් කිව්වා එයාගේ පාටපැන්සල් පෙට්ටියෙත් කළු පාට නෑ කියලා...."
පාසල් වෑන් රථයෙන් බැහැලා ආපු දියණිය ආදිත්‍යා මගේ අත අල්ලා ගත්තේ ගේට්ටුව වසා දමද්දී.
" ආ....ඒ කොහොමද යාලුවෝ දෙන්නගේ පාට පැන්සල් එක පාරම නැති උනේ..ඔයාලා අමතක වෙලා කොහේහරි දාන්න ඇති..හෙට බලන්න.කලු පාට කියන්නේ ඕනම පාටක්නේ දෝණී..අපරාදේ."
ඒ වෙලාවේ එහෙම කිව්වත් ආපහු ඒ ගැන අහන්න බලන්න මට වෙලාවක් තිබුනේ නෑ..ඒත් ඊට දවස් කිහිපයකට පස්සේ ආයෙත් දෝණී ආවේ කළුපාට ගැන අලුත් ආරංචියක් අරගෙන..
" අම්මා....මාර වැඩේනේ..අදත් ළමයි තුන් දෙනෙක්ගෙම කළුපාට පාට පැන්සල් නැති වෙලා...පාට පෙට්ට්වල කළුපාට චෝක් කූරුත් නැති වෙනවා..අපේ පන්තියට එන්නේ කළුපාට හොරෙක්...."
දුව එදා එහෙම කිව්වට පස්සේනම් මට හිතන්න දෙයක් තිබුනා." කළුපාට හොරෙක්.." ඒ වචනේ ඇතුලේ මහ මොකක්දෝ අමුත්තක් මට දැනුනා..ඒ කවුරු උනත් ඒක අසාමාන්‍ය හැසිරීමක්.එහෙම හිතුනේ දුවට බත් කවන ගමන්.
" දන්නවද මහේෂ්...දුවගේ පන්තියේ හැමදාම කළුපාට පාට පැන්සල් චෝක් කූරු නැතිවෙනවලු..."
සුපුරුදු පරිදි හැමදාම රාත්‍රියේ නිදාගන්න කලින් බොන මහේෂ්ගේ කෝපි කෝප්පය එයාගේ අතට දීලා මම එයා අසලින්ම වාඩි උනේ දුව සුව නින්දක කියලා සැක හැරලා දැනගෙනමයි..
" කළු පාට..."
" හ්ම්...දෝණිගෙත් චෝක් එකෙයි පාට පැන්සල් එකෙයි දෙකේම කළුපාට නෑ...දුව කියනවා ළමයි කිව්වලු ඒ කළු හොරෙක් කියලා..."
" එහෙමනම් ඒක හිතන්න ඕන ප්‍රශ්නයක් මාධවී..දරුවෙක් උනත් කවුරු උනත් කළුපාට විතරක් හොරකන් කරනවනම් ඒක ටිකක් අසාමාන්‍යයි...."
" මටත් හිතුනා...ටීච ඒ ගැන සැලකිල්ලෙන් හොයන්න ඕන මාධවී...සමහර දරුවෝ ඉන්නවා එයාලගේ අමුතු හැසීරීම් ඇතුලේ ලොකු කතාවක් තියනවා.."
" එහෙම කරයි නේද..ඒ ටීච දරුවෝ ගැන හරිම හෙවිල්ලෙන් ඉන්නේ.." නෙට් බෝල් ක්‍රීඩාවේ පුහුණුවීම් පැවතුන නිසා මම දියණියගේ පාසලට ගියේ ඊට දවස් දෙකකට පස්සේ.
" අම්මා...ටීච කිව්වා චුට්ටක් පන්තියට ඇවිත් යන්න කියලා.." දුව එහෙම කිව්වේ ගේට්ටුව ලඟදි මම පන්තියට යද්දී ගුරුතුමිය හිටියේ දරුවන්ගේ පොත් පරීක්ෂා කරකර .
" ආදිත්‍යාගේ අම්මා පොඩි ප්‍රශ්නයක් මම ඒ ගැන කතා කරන්නයි එන්න කිව්වේ."
" ඇයි ටීච.."
හිත ටිකක් හෙල්ලුනා....මම හිතුවේ ආදිත්‍යා ගැන තමයි ටීච මේ කතා කරන්නේ කියලා.ඒත් හිතේ තිබුන නොසන්සුන්කම නොපෙන්වාම මම ටීච දිහාට හැරුණා.
" අම්මට පුළුවන්ද හෙට මාත් එක්ක පැය කිහිපයක් පන්තියේ ගත කරන්න.."
" පුළුවන් ටීච.."
කිහිප වතාවක්ම ඇගේ සහයට පන්තියේ නැවතුන නිසා මට ඒ කාර්යය අමුත්තක් උනේ නෑ.
"අම්මා මේ වෙද්දිත් දන්නවා ඇති අපේ පන්තියේ තියන ප්‍රශ්නය.දරුවෝ කියන විදිහටනම් " කළු හොරා " ගැන..."
" ඔව් ටීච..."
" මම හිතුවා අම්මා හෙට මේ දරුවන්ට පොඩි චිත්‍ර තරඟයක් තියන්න.සමහරවිට අපිට මේ ගැන මොකක්ම හරි අදහසක් ලැබෙයි...දරුවන් අපහසුතාවයට පත් නොකර මේ ගැන හොයන්නයි මට ඕනේ..මට ඒ වැඩේට අම්මාගේ සහයෝගය ඕන.." ඇය කිව්වේ එහෙම.
මම ඒ ගැන එදා රෑ මහේෂ්ට කිව්වම එයා කිව්වේ ඒ දරුවන්ගේ වාසනාවට ලැබුන ගුරුවරියක් කියලා. " සමහර ගුරුවරු දරුවන්ගේ ප්‍රශ්නවලදි පුංචි දරුවෝ වෙන්න යනවා.....ඕනවට වඩා කලබල වෙනවා..ඒකින් අන්තිමට මහා විනාසයක් වෙලයි නතර වෙන්නේ ..."
කොහොම හරි පහුවදා ටීච දරුවන්ට දුන්නේ තමන් කැමති වර්ණවත් චිත්‍රයක් අදින්න කියලා.ගුරුතුමියට ඕන වෙලා තිබුනේ ඒ චිත්‍රය අතරේ කලුපාට වැඩිපුර තියන චිත්‍රය දකින්න.ඒ ඇස් නොසන්සුන්ව පන්තිය වටේ කරකැවුනා..
පන්තියේ අහිංසකම දරුවා විදිහට කාගෙත් හිත දිනාගෙන ඉදපු මල්ෂාගේ චිත්‍රයේ ඒ වෙනස්කම පැහැදිලිවම පෙනෙන්දී ටීචගෙත් ඇස් විසල් උනේ මවිතයෙන්...අතරින් පතර තිබුන රතු පාටක් ඇරෙන්න චිත්‍රය පුරාම තිබුනේ කළු පාට.
"මොකක්ද පුතේ චිත්‍රයේ මාතෘකාව..."
ගුරුතුමිය එහෙම ඇහුවේ මල්ෂා ලඟ තිබුන හිස් පුටුවෙන් වාඩි වෙලා.
" අපේ ගෙදර.."
"පුතාගේ ගෙදර කළුපාට නෙමෙයිනේ ලස්සන ලස්සන පාට ගාන්න එපැයි..පුතාගේ චෝක් එකේ අනිත් පාට නැද්ද.."
" තියනවා ටීච..."
" ඇයි එහෙනං පාට පාට නොගෑවේ ."
" අපේ ගේ කළු පාටයි ටීච..."
ගුරුතුමිය චිත්‍ර ටික එකතු කරගෙන ආපහු මේසේ ලඟට ආවේ දරුවන්ට විවේකයක් දීලා.
"අපිට එහෙමම අනුමාන කරන්නත් බෑ අම්මා...මම අද මේ වැඩේ කලේ තව දෙයක් හිතේ තියාගෙන .මම ඊයේ දරුවන්ට චිත්‍රයට යොදා ගන්න ඕන කියල පාට කිහිපයක් නියම කලා.ඒ අතරේ කළු පාටත් තියනවා...අම්මා තව දෙයක්..මම අම්මව ගොඩක් විශ්වාස කරලයි මේ දේ අම්මා එක්ක බෙදා ගත්තේ ..."
" මම දන්නවා ටීච...ඒ විශ්වාසය ඒ විදිහමයි...දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදිහට මටත් හැම දරුවෙක්ම මගේ දරුවෙක් වගේ තමයි දැනෙන්නේ...."
ගුරුතුමිය බලාපොරොත්තු උන විදිහටම එදා දරුවෝ තුන් හතර දෙනෙක්ගෙම පාට පෙට්ටිවල කලුපාට නැති වෙලා තිබුනා...ඒ වගේම මල්ෂගේ බෑග් එක ඇයට නොදැනෙන්න පරීක්ෂා කරද්දී ඒකේ කළු පාට චෝක් කූරු කිහිපයක්ම තිබුනා.ඒ වගේම බෑග් එක පතුලේ සුදු කොලයක තනි කළු පැහැයෙන් පාට කරපු චිත්‍රයකුත් තිබුනා.
එතනින් එහාට ගුරුතුමිය කලේ මල්ෂාට සමීප උන එක..යාළුවෙක් වගේ කතා කරපු එක..මල්ෂාගේ ගෙදර අයත් එක්ක සම්බන්ධවෙන්න ,ඒ පවුල් පසුබිම ගැන සොයා බලන්න උත්සාහ කරපු එක.
" මල්ෂාගේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු.උදේම ගෙදරින් ගියහම චැනල් සෙන්ටර් එකටත් ගිහින් රෑ දහය වෙනවලු ගෙදර එන්න...මල්ෂා ඉන්නේ එයාගේ ආත්තම්මයි වැඩ කාරයොයි එක්ක..."
" ටීච එහෙනං අපිට පුළුවන් ලේසියෙන්ම මල්ෂාගේ අම්මා තාත්තා එක්ක කතා කරන්න..ඩොක්ටර්ස්ලානම් දරුවව තේරුම් ගන්න එයාලට පුළුවන් නේ..."
" බැහැ අම්මා ..ඒකම තමයි ප්‍රශ්නේ.එයාලා දරුවගේ අසාමාන්‍යතාවයක් දකින ,පිළිගන්න තත්වෙක නෑ..."
එතනින් එහාට කාලය ගෙවිල ගියේ හරිම හෙමින්.පන්තියේ කළුපාට නැතිවෙන හොරකමක් එහෙමම තිබුන.දවසක් ගුරුතුමිය මල්ෂාගේ ගෙදරට ගිහින් තිබුනේ කාටවත් නොදන්වා.මල්ෂාගේ ආත්තම්මා හරිම හොඳ කෙනෙක්.දරුවට ආදරෙයි උණුසුමයි ලැබෙනව මදි කියලා ආත්තම්මා ගුරුතුමිය එක්ක පවසලා තිබුනේ ගුරුතුමිය යමක් කියන්න කලින්...අවාසනාවට ඇය දරුවා තේරුම් ගත්තත් ඇයට කාලය ගතකරන්න වෙලා තිබුනේ රෝද පුටුවක...මල්ෂාගේ කාමරේ පරීක්ෂා කරද්දී ඒ වගේ චිත්‍ර සිය ගණනක් ඇයට හමු වෙලා තිබුනා..
ඒ අතරේ නිවසේ සිටින විශේෂ කෙනෙක් ගැන ටීචගේ අවධානය යොමු වෙලා තිබුනා.ඒ තමයි ගෙවත්ත පිරිසිදු කරන ලාල් කියන මැදි විය පහුකරපු පුද්ගලයා...ඔහු ගුරුතුමිය දෙසට හෙලපු බැල්ම සැක සංකා පහල වෙන බැල්මක් කියලා ඇය සඳහන් කලා..ඒ වගේම ඔහුව දකිද්දි මල්ෂාත් තිගැස්සුනා කියලයි ඇය කිව්වේ..
" ඒක මගේ හිතද දන් නෑ අම්මා.මට එහෙම හිතුනා..." ඇය පැවසුවේ එහෙම .
අවසානයේ දැරිය මනෝ උපදේශිකාවක් ලඟට යොමු කෙරුනේ ඇගේ මිත්තණියගේ වගේම විදුහල්පතිනියගෙත් අනු දැනුමෙන්.
" මල්ෂා එයාලා ලඟට ආවේ එයාලා බලා පොරොත්තු නොවුන මොහොතක වෙන්න ඇති...මොකද මල්ෂාගේ අක්කයි අයියයි දෙන්නම දැන් පිටරට කැම්පස්වල.මෙයාලා අතරේ ලොකු වයස පරතරයක් තියනවා...ඉතින් 24 පැයම අවිවේකී වුණා මෙයාගේ මමාටයි පපාටයි මේ දරුවා ගැන හොයන්න වෙලාවක් නෑ.." දියණියගේ ආත්තම්මා කිව්වේ එහෙම.
අන්තිමට සිදු වෙලා තිබුනේ ගුරුතුමිය සැක කරපු දේමයි . පුංචි මල්ෂා දිගින් දිගටම ලාල්ගේ අතවර වලට ලක්වෙලා තිබුනේ අද ඊයෙක ඉදලා නෙමෙයි.ඒ හැම දේටම ඔහු තෝරගෙන තිබුනේ ගෙදර තිබුණ අඳුරුම ස්ටෝරු කාමරය...කොතනකින්වත් හිරු එළියක්වත් නොවැටුන ඒ කාමරයේ තිබුනේ කෑලි කැපිය හැකි තරම් ඝන අඳුරක්.
" ලාල් මාමා ලඟ උල් පිහියක් තියනවා.ඒ පිහියට මං හරි බයයි.ඒකේ රතුපාට ලේ තැවරිලා තිබුනා දවසක්....මාවත් ඒ පිහියෙන් ඇනලා මරලා දානවා කියල ලාල් මාමා කිව්වා...බබාට මම විතරයිනේ ආදරේ කියල ලාල් මාමා මාව බදා ගත්තා...පපා එහෙම මාව බදාගෙන නෑ කවදාවත්..."
වෛද්‍ය පරීක්ෂණයෙදි ඈ පිළිතුරු දුන්නේ එහෙම..ඒ වගේම දීර්ඝකාලීනව ඈ මේ අතවරවලට ලක් වෙලා කියලත් වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වෙලා තිබුනා.
"දෙමව්පියන්ගේ වුණත් ඇස් ඇරුනේ ඊට පස්සේ..අනිත් හැම දේටම වඩා ඔවුන්ට මේ ප්‍රශ්නය ලැජ්ජාවක් ,තත්වයට මදි කමක් කියලයි දැනුනේ.ඒ නිසා එවලෙහිත් මල්ෂා ගැන හිතනවට වඩා එයාලා උත්සාහ කලේ මේ ප්‍රශ්නය මාධ්‍යවලට යන එක වලක්වා ගන්න. "
ලාල්ව සිරගත කලේ බරපතල දඬුවම් ඇතුව.....ඒත් පුංචි මල්ෂානම් අදටත් ගෙවන්නේ හුදකලා ජීවිතයක්.වෙනසකට කියලා උනේ නිවසේ ඉදපු සියළුම පිරිමි සේවකයන් සේවයෙන් ඉවත් කිරීම විතරයි.
පන්තියෙන් පන්තිය ඉහලට ගියත් අදටත් මල්ෂාගේ හොඳම යාලුවා අර තුන වසර පන්තියේ හමුවූ ගුරුතුමිය...ගුරුතුමිය ඇය වෙනුවෙන් සෑම අවස්ථාවකම ඉදිරිපත් උනේ කොන්දේසි විරහිතව.
රෝද පුටුවේ හිටියත් වෙනදාටත් වඩා ආත්තම්මා මල්ෂා ගැන සොයා බැලුවා. " ඔබ තුමිය වැනි ගුරුවරු අපේ මේ රටට වාසනාවක්.."
මේ වගේ සිදුවීම් සුලබයි කියල කියන අම්මා තාත්තා ගෙන් නොලැබුන ස්තුතියක් නිතරම ආත්තම්මාගෙන් ගුරුතුමියට ලැබුනා.
" මේක දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් වටින කතාවක්..."
_ උපුටා ගැනීමකි _
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |