අන්තිම කැමති පත්‍රයක් නැති විට දේපළ උරුමය ලැබෙන හැටි.
අපේ රටේ මිනිස්සුන්ට තියෙන ගැටළු අතරින් බහුලව දකින්න ලැබෙන ගැටලුවක් තමයි දේපළ එහෙමත් නැත්නම් ඉඩකඩම් බෙදාගැනීම සම්බන්ධ ගැටළු. ගොඩක් වෙලාවට ඔවුන් එවැනි ගැටළු වලට ගහා මරා ගන්නවා ඇරෙන්න නීතිමය විසඳුම් හහොයන්න පෙළඹෙනවා හරිම අඩුයි. ඒ වගේම තමයි දේපළ උරුමය පිළිබද, ඔබ සතු දේපළ පැවරීම සහ අන් සතු දේපළක් හිමි කරගන්න විදිහ ගැනත් හරිහමන් නීතිමය දැනුමක් නැහැ. ඉතින් ඒ නිසා මේ කියන්න යන්නේ ගැටුම් ඇති නොකරගෙන ඔබ හිමි උරුමය ඔබ සතු කරගන්නේ කොහොමද කියලා.
අන්තිම කැමැති පත්‍රයක් ලියා ඇති අවස්ථාවක
- අන්තිම කැමැති පත්‍ර ආඥා පනතට අනුව, යම් පුද්ගලයෙක් තම මරණයෙන් පසු සිය දේපළ අයිති විය යුත්තේ කාටද ? යන්න අනිතිම කැමැති පත්‍රයකින් නියම තිබෙනවා නම්, එම පුද්ගලයා මියගිය විට දේපළ බෙදී යන්නේ අන්තිම කැමැති පත්‍රයට අනුවයි. (දේපළ උරුමයට අනුව නෙවෙයි.)
- නමුත් අන්තිම කැමැති පත්‍රයක් ලියා තිබූ පමණින්ම ඔහුට හෝ ඇයට දේපළ හිමිකම් ලැබෙන්නේ නැහැ. අන්තිම කැමැති පත්‍රයක් යටතේ දේපළ හිමි වීමට නම් එම අන්තිම කැමැති පත්‍රය ආදාළ දිසා අධිකරණයට ඉදිරිපත්කොට එහි විධාන ක්‍රියාවට නංවාලීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගත යුතුයි.
අන්තිම කැමැති පත්‍රයක් ලියා නොමැති නම්,
- වර්තමානයේ පවත්නා බුදල් නීතීය අනුව "කිසියම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ඔහු හෝ ඇය නමින් ඉතිරිවන දේපළෙහි වටිනාකම රුපියල් ලක්ෂ 40ක් හෝ ඊට වැඩි අවස්ථාවක් එම බූදල් නඩුකරයක් මගින් බෙදා ගත යුතුයි"
- ඒ වගේමදේපළ සම්බන්ධව අන්තිම කැමැති පත්‍රයක් ලියවී ඇත්නම්, එහි වටිනාකම කුමක් වුව ද, එම අන්තිම කැමැති බුදල් නඩුකරයක් මගින් අනිවාර්යෙන්ම ඔප්පු කරවා ගත යුතුයි. වටිනාකම් සීමාව වන රුපියල් ලක්ෂ 40 අදාළ වන්නේ දේපළ සම්බන්ධව අන්තිම කැමැති පත්‍රයක් නොමැති අවස්ථාවල්දී පමණයි.
- දේපළ හිමිවිය යුත්තේ කා හට දැයි අන්තිම කැමැති නොමැතිව යම් තැනැත්තෙකු පුද්ගලයෙක් මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේපළ උරුමකරුවන් හා දේපළ අයිතිවාසිකම් ඇති අය අතර බෙදී යයි.
- දේපළ උරුම වීම පිළිබද සාමාන්‍ය නීතීය වන්නේ 1876 අංක 15 දරණ වෛවාහක අයිතිවාසිකම් උරුම අඥා පනතයි.
වෛවාහක අයිතිවාසිකම් හා උරුම ආඥා පනතට අනුව ජීවත්ව සිටින කාලත්‍රයාට ( බිරිඳ හෝ සැමියා ) දෙකෙන් පංගුවක් උරුම වීමට යටත්ව මියගිය අයගේ දේපළ අනුපිළිවෙලින් ඔහුගේ පසුගාමීන්ට, පූර්වගාමීන්ට සහා සහෝදර සහෝදරියන්ට උරුම වෙනවා.
දස වන පරම්පරාව දක්වාත් එවන් කිසිම උරුමකරුවකු නොමැති විට එම දේපළ රජයට අයිති වෙනවා.
වෛවාහක අයිතිවාසිකම් හා උරුම අඥා පනතේ විධිවිධාන අනුව කෙනෙක් මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේපළ බෙදී යන ආකාරය,
1. කෙනෙක් මිය යන විට ඔහුගේ/ඇයගේ කාලත්‍රයා (බිරිද/සැමියා) ජීවත්ව සිටි නම් ඔහුට හෝ ඇයට මිය ගිය අයගේ සියලු දේපළෙන් භාගයක් උරුම වෙනවා.ඉතිරි භාගය මිය ගිය අයගේ දරුවන් අතර සම සේ බෙදී යනවා.
2. සැමියා හෝ බිරිඳ යන දෙදෙනාම මිය ගිහින් නම්, මිය ගිය අයගේ සම්පූර්ණ දේපළ දරුවන් අතර සම සේ බෙදී යනවා.
3. කෙනෙක් විවාහකව දරුවන් නොමැතිව මිය ගිය විටෙක දරුවන්ට හිමි දෙකෙන් පංගුව හිමිවනුයේ මිය ගිය අයගේ දෙමාපියන්ටයි.
4. අවිවාහකයෙක් මිය ගිය විට ඔහුගේ දේපළ ජීවත් ව සිටින මව් පිය දෙදෙනාට සම සේ උරුම වෙනවා. මව්පිය දෙදෙනාගෙන් එක් අයකු පමණක් සිටී නම් දේපළින් භාගයක් ජීවත් ව සිටින මවට හෝ පියාට උරුම වන අතර ඉතිරි භාගය මිය ගිය අයගේ සහෝදර සහෝදරියන් අතර සම සේ බෙදී යනවා.
5. මව්පිය දෙදෙනාම මිය ගොස් ඇත්නම් ලේ උරුමයට හිමිකම අනුව දේපළ සහෝදර සහෝදරියන් අතර සම සේ බෙදී යනවා.
මව් හෝ පිය පාර්ශවයේ අර්ධ සහෝදර සහෝදරියන්ට ද සිටී නම් පූර්ණ සහෝදර සහෝදරියන්ට දේපළින් දෙකෙන් පංගුවක් හිමි වෙනවා. ඉතිරි භාගය පූර්ණ හා අර්ධ සහෝදර සහෝදරියන් සියලු දෙනා අතර සම සේ බෙදී යනවා. (දෙමාපියන්ගෙන් එක් අයකු පමණක් පොදුවන සහෝදර සහෝදරියන් අර්ධ සහෝදර සහෝරියන් ලෙස හැදින්වෙයි).
{ වෛවාහක අයිතිවාසිකම් හා උරුම ආඥා පනත උඩරැටියනට, මුස්ලිම්වරුන්ට හා තේසවලාමෙ නීතීයට යටත් දමිළ ජාතිකයින්ගේ දේපළ උරුමය සම්බන්ධයෙන් ආදාළ නොවන අතර ඔවුනට ඒ ඒ ජාතීන්ට ආවේණික වු පුද්ගල නීතීන් බලපානු ලබයි.}
1993 අංක 14 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනතින් මුල් පනතේ සඳහන් වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර 516 වන වගන්තියේ සිට 554 (අ ) දක්වා වගන්ති අලුතින් ආදේශ කළ අතර 2010 අංක 11 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනතින් මෙකී නීතිමය ප්‍රතිපාදන තවදුරටත් සංශෝධනය වී ඇත. |