හෙල්මටයෙන් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ, බාලවයස්කාර සැකකරුවන් භාරව සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ..!
අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ, බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගෙන ඇති බවයි.
නඩු කටයුත්තකින් අනතුරුව අප්‍රේල් 18 වනදා යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර සිසුන් තිදෙනෙක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් මහමඟ නවතා, ඔවුන්ට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද චන්දන ඒකනායක මහතා අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම චන්දන මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩතහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
පසුගිය පෙබරවාරි 14 වනදා වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසැල් වියේ පසුවන ළමුන් තිදෙනකුට එය නවත්වන්නැයි අවවාද කළ 34 හැවිරිදි පුද්ගලයෙකුට යතුරුපැදි හෙල්මට්වලින් පහරදී ඝාතනය කෙරුණා.
සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගියේ රංග විරාජ් නම් එක්දරු පියෙකි. රංගට දිවි අහිමි කළ බාලවයස්කාර ළමුන් තිදෙනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකෙරුණි.
එම සිද්ධියට අදාළ නඩුව පසුගිය අප්‍රේල් 18 වනදා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අතර, නඩු කටයුතු අවසන් වීමෙන් පසු සැකකාර සිසුන් තිදෙනා යළි රැඳවුම් මධ්‍යස්ථානය වෙත වෑන් රථයකින් රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
නමුත් අධිකරණය අසල අතුරු මාර්ගයකදී වෑන් රථය නවත්වා ඒ තුළට බඩු භාණ්ඩ ආදිය ලබාදීමට සැකකාර සිසුන්ගේ ඥාතීන් විසින් පියවර ගත් බවට දැක්වෙන වීඩීයෝවක් ලැබී තිබේ.
ඒ සම්බන්ධයෙන් මියගිය රංගගේ වැඩිමහල් සහෝදරයා පළ කළේ මෙවන් අදහසක්,
"අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටියා. ඒ අතර අපට දැකිනන්ට ලැබුණා මේ අය දරුවන්ව රැගෙන විත් එක දරුවෙකුගේ මාමාගේ මෝටර් රථයක තිබූ බඩු පාර්සල් කිහිපයක් වෑන් රථයට දෙනවා. අපි ඒ අවස්ථාව ජංගම දුරකථනවලින් වීඩියෝ කළා. වීඩියෝ ගතකරලා ඊයේ දිනයේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලිඛිතව හා වීඩියෝව ලබාදී පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
බන්ධනාගාර නිලධාරීන් උපදෙස් දුන්නේ ඊළඟ නඩු වාරයේදී නීතිඥවරයා මාර්ගයෙන් මෙම අකටයුත්ත අධිකරණය වෙත දැනුම් දෙන ලෙසයි. මොකද මේ බන්ධනාගාර නිලධාරීන් කරන අක්‍රමිකතාවය නිසා මේ දරුවන්ට යම් කිසි හානියක් සිදුවුණොත් අපි විරුද්ධ පාර්ශවය නිසා අපේ පැත්තට ඇඟිල්ල දිගුවන නිසා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ නඩුවාරයේදී මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කර මෙම සිදුවීම අධිකරණයට දන්වා සිටීමට."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |