අගමැති නිවෙස ගිනි තැබීම විමර්ශනය CID ට භාරදෙයි..! සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරු

CID - Sri Lanka Police Galle Face Protest Ranil Wickremesinghe Sri Lankan protests Prime minister
By Sewvandhi Jul 10, 2022 10:03 AM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොල්ලුපිටිය පොලිසිය භාරයේ රඳවා ඇති බවයි.   

මේ අතර දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි ස්ථානයට පැමිණියා. කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ද අරගලකරුවන් ඊයේ පස්වරුවේ ඇතුළුවීමට උත්සහ කළා.

එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඔවුන් ඉදිරියට යාමට උත්සහ කිරීමත් සමග පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. 

 අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා තිබෙනවා. ගින්නෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ඊයේ රාත්‍රීයේම සිද්ධියට සම්බන්ධ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් ගල්කිස්ස, ගාල්ල සහ ජා-ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා පස්වරු 6න් පසු දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට සැලසුම් කර තිබු අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට විදුලි කප්පාදුවක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ මහජන උපයෝගීතා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now