ජනපතිගේ නියෝගය මත තවත් ගාස්තුවක් වැඩි කරයි..

Sri Lanka
By Aruna Apr 16, 2023 05:37 AM GMT
Report

තක්සේරු දෙපාර්තමේන්තුව දැනට අය කරන අවම තක්සේරු ගාස්තුව රුපියල් පන්සිය හැත්තෑ පහේ සිට රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

උපරිම තක්සේරු මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට සීමා කෙරෙන බවත් එම යෝජනාවේ සඳහන් වෙයි.

මෙතෙක් උපරිම තක්සේරු මුදලක් තිබී නැත.

එමෙන්ම ප්‍රමාණවත් ආදායම් ඇති රාජ්‍ය ආයතනවලින් සම්පූර්ණ තක්සේරු ගාස්තු ද සෙසු සියලු රාජ්‍ය ආයතනවලින් 50% ගාස්තුවක් ද අය කළ යුතු බවටද ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වත්කම් කාර්යය වෙනුවෙන් කළ තක්සේරු කිරීමට අයවිය යුතුව තිබෙන රුපියල් දහසය කෝටි හැත්තෑ පන් ලක්ෂයකට අධික මුදල ගෙවීම එම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බවත් ආයතනයන්ට දරා ගත නොහැකි වන ලෙස විශාල තක්සේරු ගාස්තු තීරණය කිරීම නිසා දෙපාර්තමේන්තුවට අය විය යුතු ගාස්තුවල එකතුව රුපියල් කෝටි හතළිස් තුනක් බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

තක්සේරු ගාස්තුවල සීමාවක් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන බවද එහි සඳහන්ව ඇත.

තක්සේරු වාර්තාවක් ලබා ගෙන වසර තුනක් ඇතුළත යළි එම දේපොළ වෙනුවෙන් ම වාර්තාවක් ඉල්ලා සිටීමේ දී පෙර තක්සේරු වටිනාකම මත තක්සේරු ගාස්තු ගණනය කර ඉන් 50% ප්‍රතිශතයක් අයකළ යුතු බවත් එහි සඳහන්ව ඇත.

මෙම යෝජනා සකස් කර ඇත්තේ තක්සේරු ගාස්තු සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශ අනුවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now