වේලන්නේ නැතිව කොස් මදුළු අවුරුද්දක් කල් තියාගන්න හැටි.
ජීවත් වෙන්නද කන්නේ? කන්නේ ජීවත් වෙන්නද? ඔය දෙකෙන් කොයික කළත් අපි හැමදේම කරන්නේ කන්නනේ. ඉතින් මේ අපි හැමෝම ලහි ලහියේම මේ ලෑස්ති වෙන්නේ ආහාර හිඟයට මුහුණ දෙන්න. ඉතින් අදත් ඔබව දැනුවත් කරන්න හදන්නේ අපේ ජාතික ආහාරයක් විදිහට සැලකෙන කොස් කල්තබා ගන්න හැටි කියලා දෙන්න.
කොස් පළ දරන්නේ වාරෙට. හැබැයි ඒ වරේම මේවා කාල ඉවර කරනවා මිසක් අවාරෙට තියාගන්න පුළුවන්ද කියලා බැලුවේ නැහැ නේද? සමහරු නම් කොස් දෙල් කපලා වේලනවා. බැදලා පැණි දාලා කන්න හිතාගෙන. හැබැයි ඔබට පුළුවන් කොස් මදුළු වේලන්නේ නැතිව කිරිකොස් ව්‍යංජනයකට කල්තියාගන්න.
🌳 කොස් සිහින්ව කපාගන්න
🌳 ජීවානුහරණය කළ බෝතල් වලට කපාගත් කොස් අසුරගන්න. ඒ සඳහා ඔබට පුළුවන් වීදුරු ජෑම් බෝතල් හෝ ඊට වඩා තරමක් විශාල බෝතල් ගන්න.
🌳 ඉන්පසුව 3% ක් ලුණු ද්‍රවණය බෝතල් වලට පුරවන්න. ( මුඩියේ නොගෑවෙන ප්‍රමාණයට ඇතුළත ලුණු ද්‍රාවණය පුරවන්න./ ලුණු 30gක් පමණ ගෙන වතුර 1l කට දිය කරගන්න)
🌳 දැන් ලිපේ තියලා රත් කරන්න පුළුවන් විදිහේ භාජනයක් ගන්න
🌳 ඒ තුළ කොස් මදුළු පිරවූ බෝතලය සිරස් අතට තබා භාජනයට වතුර පුරවන්න. බෝතලය 2/3 හෝ 3/4 ලෙස වතුරෙන් වැසෙන සේ පුරවන්න.
🌳 බෝතලයේ මුඩිය විවෘත කර පැය භාගයක් පමණ වතුර භාජනයේ නටවාගන්න. - පසුව බෝතලේ ඉවතට ගෙන මුඩිය වසා ගන්න.
පරිභෝජනයට පිළියෙළ කරගන්න ආකාරය
🌳 සාමාන්‍යයෙන් වෙනදා හදනවා වගේ හදාගන්න. ලුණු අඩුවෙන් දාන්න හෝ නොදන්න අමතක කරන්න එපා. මොකද බෝතලේ ලුණු තියෙන නිසා. ( මේක අවුරුද්දක් විතර කල්තියා ගන්න පුළුවන්.)
බෝතලේ සහ මුඩිය ජීවානුහරණය කරගන්න විදිහ
🌳 බෝතල් සහ මුඩි හොඳින් පිරිසිදු කරගන්න.
🌳 ඇල් වතුර භාජනයකට බෝතල් සහ මුඩි දාන්න.
🌳 භාජනය ලිපේ තබා නටන උෂ්ණත්වයට ( 100 °C) විනාඩි 25ක් බෝතල් සහ මුඩි තම්බා ගන්න.
වැදගත් - මුඩිය විවෘත කර වතුර භාජනයේ බෝතල් රත් කරන විට බෝතලේ මැද උෂ්ණත්වය 80°Cකට පැමිණිය යුතුයි. 🌳 |